ලංකාවේ වැවිලි ක්ෂේත්‍රයේ නියුතු වතු කම්කරු ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම වෙනුවෙන් ඔවුන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1,750 දක්වා ඉහළ නැංවීමට රජය සහ වතු සමාගම් ඒකාබද්ධව පියවර ගෙන තිබේ. මෙම නව වැටුප් ව්‍යුහය සකස් වී ඇත්තේ රජය මඟින් සෘජුවම ලබා දෙන රුපියල් 200ක විශේෂ දිරි දීමනාව සහ අදාළ වතු සමාගම් මඟින් එකඟ වූ රුපියල් 200ක වැටුප් වැඩි කිරීම ද ඇතුළත් වන පරිදිය.
මීට පෙර පසුගිය 2024 වසරේදී වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් 1,350ක් ලෙස පැවති අතර, පවතින ආර්ථික වටපිටාව සැලකිල්ලට ගනිමින් සිදුකළ මෙම නව වැටුප් සංශෝධනය 2026 වසරේ ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වතු සේවකයන් වෙත ලබාදීමට කටයුතු කර ඇත. මෙමඟින් වතු සේවකයන්ගේ දෛනික ආදායම සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් තිබේ.
මෙම වැටුප් වැඩි කිරීමේ ක්‍රියාවලිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජය සිය දායකත්වය නොහොත් රජයේ පංගුව ගෙවීම වෙනුවෙන් මෙම වසර සඳහා පමණක් රුපියල් මිලියන 5,000ක (රුපියල් බිලියන 5) දැවැන්ත මූල්‍ය ප්‍රතිපාදනයක් වෙන් කර තිබේ. ඒ අනුව 2026 වසරේ ගත වූ මුල් මාස හතර (04) තුළ පමණක් මෙම වැටුප් වැඩි කිරීමට අදාළ දීමනා වෙනුවෙන් වතු කම්කරුවන් අතර බෙදා හැර ඇති මුළු මුදල රුපියල් මිලියන 2,883.34ක් බව වැවිලි අමාත්‍යාංශයේ නිල දත්ත වාර්තා සනාථ කරයි.
















