වලපනේ, කුඹුල්ගමුව ග්‍රාමයේ ජනතාව කලක පටන් දැඩි භීතියට පත් කරමින් ගම්මානයේ සැරිසැරූ අඩි 15කට අධික දිගින් යුත් දැවැන්ත පිඹුරෙක් ප්‍රදේශවාසීන්ගේ නිවාස හා වගාබිම් ආශ්‍රිතව ගැවසීම නිසා ගම්මුන් දැඩි අසරණභාවයකට පත්ව සිටියහ.
විශේෂයෙන් කුඩා දරුවන් මෙන්ම සුරතල් සතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ බියක් පැවති මෙම අවස්ථාවේදී, තොරතුරු ලද වහාම ප්‍රදේශය භාර ප්‍රධාන පොලිස් නිලධාරියා අදාළ ස්ථානයට කඩිනමින් ළඟා විය. වෙනත් කිසිදු අයෙකුට පිඹුරා මෙල්ල කර ගැනීමට නොහැකිව බියෙන් පසුබසිද්දී, මෙම නිලධාරියා කිසිදු ආරක්ෂිත උපකරණයක හෝ අමතර සහයකින් තොරව තනිකරම තම හිස් දෑතින් අඩි 15ක දැවැන්ත පිඹුරා ඉතා දක්ෂ ලෙස ග්‍රහණය කර ගැනීමට සමත් විය.
සත්වයාට කිසිදු හානියක් නොවන අයුරින් ආරක්ෂිතව අල්ලාගත් මෙම පොලිස් නිලධාරියා, පසුව එම සත්වයා කීර්තිබණ්ඩාරපුර වනජීවී කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරමින් ගම්වාසීන්ගේ ආරක්ෂාව මෙන්ම වනජීවී සංරක්ෂණ වගකීමද එකසේ ඉටු කළේය. මිනිස් ජීවිත මෙන්ම නිහඬ වනජීවීන්ගේ ජීවිතද සුරකිමින් සාමූහික පැවැත්ම තහවුරු කිරීමට පෙරමුණ ගත් මෙම නිලධාරියාගේ ක්‍රියාව නිල ඇඳුමට ගෙන ආවේ මහත් අභිමානයකි.
















