“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ජාතික තේමාවට සමගාමීව, වාරියපොළ සතිපොළ භූමිය වඩාත් ඵලදායී හා ආදායම් උත්පාදනය කරන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා මුල්ගල තැබීම ඊයේ (14) පෙරවරුවේ සිදු කෙරිණි.
කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය, කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මුල්ගල තැබීමේ උත්සවය පැවැත්විණි.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් පළාත් පාලන ආයතනවල ආදායම් උත්පාදන ව්‍යාපෘති වෙනුවෙන් පිරිනමන “කාර්ය සාධනය මත පදනම් වූ ප්‍රාග්ධන ප්‍රදාන” (Performance-Based Capital Grants) යටතේ සහ වාරියපොළ ප්‍රාදේශීය සභාවේ ප්‍රතිපාදන එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මෙහි සමස්ත ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් මිලියන 39.27 කි.
මෙම ව්‍යාපෘතිය යටතේ ප්‍රදේශයේ ව්‍යවසායකයින්ට සහ ස්ථිර වෙළෙඳුන්ට තමන්ගේ ව්‍යාපාර කටයුතු ආරක්ෂිතව හා විධිමත්ව පවත්වාගෙන යාම සඳහා නව වෙළඳ කුටි සංකීර්ණයක් ඉදිකිරීමට නියමිතය. එසේම, විධිමත් අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක්, පිරිසිදු පානීය ජලය සහ නවීන සනීපාරක්ෂක පහසුකම් ස්ථාපනය කිරීම මගින් වෙළඳාම් කිරීමට සහ මහජනතාවට පහසුවෙන් භාණ්ඩ මිලදී ගැනීමට හැකිවන පරිදි සතිපොළ භූමිය සංවර්ධනය කෙරේ.
මෙම ව්‍යාපෘතිය මාස 7ක් වැනි කෙටි කාලයක් තුළ කඩිනමින් අවසන් කර ජනතා අයිතියට පැවරීමට නියමිත අතර, ඒ හරහා වාරියපොළ නගරය වයඹ පළාතේ ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානයක් ලෙස තවදුරටත් බලගැන්වෙනු ඇත. මෙම අවස්ථාව සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක මහතා, වාරියපොළ ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා, ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, ප්‍රදේශවාසීන් සහ වෙළෙඳ සංගම් නියෝජිතයින් විශාල පිරිසක් එක්ව සිටියහ.
















