“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ජාතික තේමාවට සමගාමීව, වාරියපොළ සතිපොළ භූමිය වඩාත් ඵලදායී හා ආදායම් උත්පාදනය කරන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ බහුකාර්ය ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබීම පසුගියදා (14) සිදු කෙරිණි.
පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය මඟින් පළාත් පාලන ආයතනවල ආදායම් උත්පාදන ව්‍යාපෘති වෙනුවෙන් පිරිනමන කාර්යසාධනය මත පදනම් වූ ප්‍රාග්ධන ප්‍රදාන යටතේ, වාරියපොළ ප්‍රාදේශීය සභාවේ ප්‍රතිපාදන මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. මේ සඳහා ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 39.27කි.
මෙම ව්‍යාපෘතිය යටතේ නවීන සාප්පු සංකීර්ණ, නව වෙළෙඳ කුටි, විධිමත් අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියක්, පිරිසිදු පානීය ජලය සහ නවීන සනීපාරක්ෂක පහසුකම් යටතේ ජනතාවට භාණ්ඩ මිලදී ගැනීමට හැකි වන සේ සතිපොළ භූමිය සංවර්ධනය කිරීමට නියමිතය. මෙම අවස්ථාවට කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.














