වත්තල, පල්ලියවත්ත ප්‍රදේශයේ පිහිටි උත්සව ශාලාවකදී ඊයේ (ජූලි 23) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන “කුඩු රොෂාන්” ඉලක්ක කර ඇතත්, වැරදීමකින් වෙඩි පහරට ලක්වී ඇත්තේ ඔහු සමඟ සාදයට පැමිණ සිටි බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ‘වනාතේ සුමේධ’ නමැත්තෙකි. මට්ටක්කුලියේ මනෝජ් නැමැත්තෙකු විසින් මෙම වෙඩිතැබීම මෙහෙයවා ඇති බවට පොලීසිය සැක කරන අතර, කුඩු රොෂාන්ගේ සහෝදරයාගේ දියණියකගේ උපන්දින සාදයකදී වෙඩික්කරු නර්තනයේ යෙදෙමින් පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇත. “කුඩු රොෂාන්” හැඳ සිටි ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටීම සහ එම අවස්ථාවේ ඔහු දුම්වැටියක් පානය කිරීමට වෙනත් තැනකට ගොස් සිටීම නිසා වෙඩික්කරුට ඉලක්කය මාරු වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සුමේධ නමැත්තා මියගොස් ඇති අතර, වෙඩික්කරු පැමිණි මෝටර් රථය ජා ඇල ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයාගෙන ඇත. කැලේනිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායම් 5ක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන පවත්වයි.














