වත්තල ප්‍රදේශයේ හෝටලයක ජූලි 23 වැනිදා රාත්‍රියේ පැවති උපන්දින සාදයකදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් දෙදෙනෙකු අද (13) කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධියෙන් පසු බෝට්ටුවකින් ඉන්දියාවට පලාගොස් සිටි බව කියන ඔවුන් එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත.
වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන සැකකරුවන් දෙදෙනා 30 සහ 34 හැවිරිදි වියේ පසුවන අතර, ඔවුන් චෙන්නායි සිට ගුවන් මගින් කටුනායක වෙත එවා තිබේ. ඒ පිළිබඳව ඉන්දීය ආරක්ෂක අංශ විසින් කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තු නිලධාරීන් කල්තියා දැනුවත් කර තිබූ අතර, ගුවන් යානය පැමිණීමෙන් අනතුරුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්‌ශන සඳහා ඔවුන් දැඩි ආරක්ෂාව යටතේ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාශය වෙත භාරදීමට පියවර ගෙන තිබේ.














