අමානුෂික ලෙස පහරදී පාළු ස්ථානයක අතරමං කර දමා ගොස් සිටි අවුරුදු 4ක් පමණ වයසැති කුඩා දැරියක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.
අද (13) දින වත්තේගම යටිරාවණ මාර්ගයේ පාළු ප්‍රදේශයක සිටියදී මෙම දැරිය සොයාගෙන ඇති අතර, පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව වත්තේගම පොලිස් කණ්ඩායමක් වහාම ක්‍රියාත්මක වී දරුවාව පොලිස් භාරයට ගෙන ඇත.
පෙරවරු 7:00 ට පමණ ත්‍රීරෝද රථයකින් පැමිණ මෙම දැරිය අදාළ ස්ථානයේ දමා ගොස් ඇති බවට පොලීසිය සැක කරන අතර, ළමයා රැගෙන ආ බවට සැක කෙරෙන ත්‍රීරෝද රථය හඳුනා ගැනීම සඳහා CCTV දර්ශන ඔස්සේ පුළුල් විමර්ශන ආරම්භ කර තිබේ.
සොයාගත් අවස්ථාවේදී මෙම දැරිය තම පවුලේ විස්තර හෝ පදිංචිව සිටි ස්ථානය පිළිබඳව කිසිදු තොරතුරක් ප්‍රකාශ කිරීමට නොහැකි තත්ත්වයක පසුවී ඇත. පහරකෑමට ලක්ව අසරණව සිටි දැරිය මේ වන විට වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, වත්තේගම පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.














