27 April 2024
#දේශීය

පරිසරයට එරෙහි නොවෙමින් සංවර්ධන කටයුතු සිදුකිරීමට වග බලා ගත යුතුයි – මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත්

පරිසරයට එරෙහි නොවෙමින් සංවර්ධන කටයුතු සිදුකිරීමට වග බලා ගත යුතු බවත්, සැලසුම ලියවිල්ලකට සීමා නොකළ යුතු බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම යටතේ ක්‍රියාවට නැංවීමට නියමිත මධ්‍යම පළාතේ භෞතික සැලසුම සම්බන්ධයෙන් වන මූලික සාකච්ඡාව මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ඊයේ (8) පැවැති අවස්ථාවේදිය.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සභාපතීත්වය හමුවේ, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍යධූරය දරණ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ සංවිධාන ශක්තියෙන් ජාතික මට්ටමෙන් ක්‍රියාවට නැංවෙන මෙම වැඩසටහන පළාත් මටිටමෙන් ක්‍රියාවට නැංවීම සදහා වන කමිටුව ස්ථාපිත කිරීම සදහා වන යෝජනා ද මෙහිදී සාකච්ඡා වු අතර, මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ අනුශාසකත්වය යටතේ පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ සභාපතීත්වය හමුවේ පළාත් පාලන ආයතන නියෝජ්‍යත්වය, දිස්ත්‍රීක් ලේකම්වරුන්ගේ නියෝජනය ද ඇතුලත් ව මෙම කමිටුව ස්ථාපිත කිරීමට නියමිත ය.

ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ, නෛතික බලතල ඇතුව සැලසුම්කරණය සිදුකිරීම සිදු කළ යුතුව පවතින බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය හා මගපෙන්වීම හමුවේ ජාතික ප්‍රතිපත්තියක් ස්ථාපිත කර රාජ්‍ය යාන්ත්‍රණයක් රටේ ඉදිරි ගමනත් වඩා සැලසුම්සහගතව ඉදිරියට ගෙන යාම සිදුවන බවත්, නිදහස ලැබී වසර 74ක් ගතවි ඇතත්, එදා බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් සකසනු ලැබූ සමහර නීතී හා රීති ක්‍රියාත්මක කිරීමේ හා යාවත්කාලීන කර ගැනීමේ අපහසුතා හේතුවෙන් භෞතික සැලසුම්කරණය යුගයේ අවශ්‍යතාවය මත ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇති බවත්ය.

මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, ජාතික භෞතික සැලසුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඒ.එච්.ගාමිණි හේවගේ, මහනුවර දිස්ත්‍රීක් ලේකම් චන්දන තෙන්නකෝන් යන මහත්වරුන් සහ මාතලේ දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය, නුවරඑළිය දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන වල නියෝජිතයන් රැසකගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විය.

 

 

මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *