27 April 2024
#දේශීය

13 ගැන නෙමෙයි ආර්ථික සංවර්ධනය ගැන අවධානය යොමු කල යුතුයි – මන්ත්‍රී එස්.බී

ජනතාව නැවත වාර්ගික අර්බුදයක් මතුවන ගැටලුවලට මෙම අවස්ථාවේ යොමු නොකර අපගේ පළමු, දෙවැනි, තුන්වෙනි, සියලු වෑයම් රටේ ආර්ථික සංවර්ධනය සඳහා යොමුකළ යුතු බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (15) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා, “මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් කියන කාරණයේ මතු කර ගැනීම සඳහා මේ ඉතිහාසයේ අපි අරගෙන බැලුවොත් මේ රටේ සිංහල, දමිළ දේශපාලන පක්ෂ නායකයෝ හැමදෙනාම වගේ වගකියන්න ඕන. අපිට මේ ගැටලුව බොහෝම මිත්‍රශිලීව බේරගන්න තිබුණා. මේ ප්‍රශ්නය හරි සංකීර්ණයි. 13 වන ආණ්ඩුක්‍රම සංශෝධනය වගේ එකක් ගෙනාවෙත් ජේ.ආර්. බය ගන්වලා, අපිව හිරකරලා තමයි ඔය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇදලා ගත්තේ. ඊටපස්සේ ජනාධිපතිවරු 06 ක් බිහිවුණා. කවුරුවත් පොලිස් බලතල, ඉඩම් බලතල වගේ දේවල් පළාත් සභාවලට දෙන්න ගියේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ මම හිතන්නේ මේ කාරණයට අපි මූලිකත්වය දෙනවට වඩා අපට ප්‍රධාන වශයෙන් ගැටලුවක් තිබෙනවා. ඒ ගැටලුව තමයි ආර්ථික වශයෙන් අපි කඩා වැටුණා. ආසියාවෙන් වේගයෙන්ම නැගි ආපු රට නැවතත් කඩලා දැම්මේ යහපාලන ආණ්ඩුව. ඒකට ජනාධිපතිතුමා සහ අගමැතිතුමා එදා තිබුණු නිරන්තර අරගලය, මහා බැංකු හොරකම, මුස්ලිම් අන්තවාදීන්ගේ ප්‍රහාරය වැනි මේ සේරමත් එක්ක තමයි අපේ ආර්ථිකය කඩා වැටුණේ. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රට අතට ගන්නකොට කෝවිඩ් වසංගතය පැමිණියා. එතුමා කොවිඩ් වසංගතය ලෝකයේ චීනයට එක ලකුණකින් දෙවැනි වෙන්න කෝවිඩ් වසංගතය ආදර්ශමත් විදිහට පාලනය කළා. ඒ වංසගතය පිට ප්‍රශ්නයක් බවට පත් කළේ ජනතා විමුක්ති පෙරමුණ සහ සමගි ජනබලවේගයයි. මිනිස්සු බලහත්කාරයෙන් සෙනග ඇදගෙන මහා ව්‍යසනයක් ඇති කළා. මේ කාලයේ රට වහන්න වුණා. කර්මාන්ත වහන්න සිදුවුණා. මේ නිසා රටේ ආදායම සම්පූර්ණයෙන්ම බිඳවැටුණා. රට සම්පූර්ණයෙන්ම ඉතා නරක තැනකට ගියා. බංකොලොත් කියන ප්‍රකාශ නොකර අපිට තව අවුරුද්දක් තිබුණ නම් මේ රටේ ආර්ථිකය අනිත් පැත්තට හරවන්න තිබුණා කියලා මම හිතන්නේ. කොහොම වුණත් අපි අද අපේ රටේ ප්‍රධාන ගැටලුව ‍මේ ආර්ථික ව්‍යසනයෙන් ගැලවීමයි. මේක ගැලවීම සඳහා අපි පුළුවන්තරම් අපේ විදේශ ආයෝජන අපිට ගෙන්වා ගන්න ඕන. ඒ වගේම අපේ රටේ අපනයන පුළුවන්තරම් වැඩිදියුණු කරගන්න අපි උත්සහ කරන්න ඕන. ඒ වගේම අද රටේ නිෂ්පාදනය දළ දේශීය නිෂ්පාදනයෙන් දශම එකටත් අඩුයි. මහා කැපකිරීමක් තිබෙනවා මේ රටේ කෘෂිකර්මාන්තය උඩට නංවලා ගන්න. අපේ අපනයන වැඩිකරගන්න පුළුවන්තරම් ඉක්මණින්. අපි වහා පිළියම් යොදලා අපේ නිෂ්පාදන වැඩිකරගෙන අපේ ආදායම් වැඩිකරගන්න ඕන. ඒ නිසා අපි පුළුවන්තරම් අපේ රටට විදේශ ආයෝජකයන් ගෙන්වා ගන්න අවශ්‍ය පරිසරය හදන්න ඕන. මේක ජනාධිපතිතුමාට හොඳටම ඕනකම තිබෙනවා. හැබැයි වැඩේ වෙන්නේ නැහැ. ඒ නිසා අපි රටේ මිනිස්සු ඇවිස්සෙන නැවත වාර්ගික අර්බුදයක් මතුකරන ප්‍රශ්නවලට මේ අවස්ථාවේ අත නොදා අපේ පළමු, දෙවැනි, තුන්වෙනි සියලු වෑයම් අපි යොමු කරන්න ඕන රටේ ආර්ථික සංවර්ධනය සඳහා. පුළුවන්තරම් මේ රටට විදේශ ආයෝජන ගෙන්වීමයි අවශ්‍ය. ඒ වෙනුවෙන් තමයි අපි මේ කැපවෙන්නේ. ”යනුවෙන් මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා මෙහිදි සඳහන් කළේ ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *