අභිනවයෙන් පත්වූ ශ්රී ලංකාවේ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සුහද හමුවක් අද (සැප්තැම්බර් 09) පෙරවරුවේ කොළඹ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී පැවැත්විණි.
පසුගිය අගෝස්තු 25 වන දින සිය අක්තපත්ර භාරදීමෙන් අනතුරුව නිල වශයෙන් රාජකාරී ආරම්භ කළ චීන තානාපතිවරයා වෙත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය සුබ පැතුම් පිරිනැමීය. චීන ශිෂ්ටාචාරයේ ගැඹුරු අර්ථය නිරූපණය වන සාම්ප්රදායික චීන සිතුවම් ඇතුළත් විශේෂ ග්රන්ථයක් තානාපතිවරයා විසින් හිටපු ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදී.
දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්රත්වය, උපායමාර්ගික හවුල්කාරිත්වය සහ චීනය විසින් ශ්රී ලංකාවට ලබා දෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව හිටපු ජනාධිපතිවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය. මෙම අවස්ථාව සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා ද සහභාගී වී සිටියේය.














