ඉන්දියාවේ බටහිර බෙංගාල ප්‍රාන්තයේ, බරිපූර් (Baripur) ප්‍රදේශයේදී 12 හැවිරිදි දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියක් මුල්කරගනිමින් එම ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබේ.
පසුගිය ඉරිදා කොල්කටා නුවරට සැතපුම් 20ක් පමණ දුරින් පිහිටි පොකුණකින් දැරියගේ සිරුර සොයාගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ දෙමාපියන් ප්‍රදේශයේ බලගතු පිරිසක් වෙත චෝදනා එල්ල කරමින් දැඩි විරෝධතාවල නිරත වෙයි. පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රමාද වී ක්‍රියා කළ බවට ද පවුලේ අය චෝදනා කරති.
මෙම සිද්ධියත් සමඟ හටගත් උණුසුම් වාතාවරණය හේතුවෙන් ප්‍රදේශයේ පොලිස් වාහනවලට හානි සිදුව ඇති අතර, මාර්ග සහ දුම්රිය මාර්ග අවහිර කරමින් විරෝධතා පැවැත්වේ. උමතු වූ පිරිසක් විසින් අහිංසක පුද්ගලයෙකු මරා දැමීමේ සිදුවීමක් ද වාර්තා වී ඇත.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගත් ප්‍රභාෂ් මොන්ඩාල් (Prabhas Mondal), පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් උදුරාගෙන වෙඩි තැබීමට උත්සාහ කර පලා යාමට සැරසීමේදී, පොලිසිය සිදුකළ ප්‍රතිප්‍රහාරයකින් මියගොස් ඇත.
දැරිය මුස්ලිම් ජාතිකයෙකු වීම සහ අත්අඩංගුවට ගත් සැකකරුවන් හින්දු භක්තිකයන් වීම හේතුවෙන් මෙය ආගමික නොසන්සුන්තාවකටද තුඩු දිය හැකි බවට බියක් පවතී. මේ වන විට එම ප්‍රදේශවල පොලිස් ආරක්ෂාව දැඩි කර ඇති අතර, ජනතා ඒකරාශීවීම් ද තහනම් කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශන කණ්ඩායමක් (SIT) යටතේ පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
















