බස්නාහිර පළාත තුළ නියමිත නැවතුම්පළවල නොනවත්වා තැන තැන නවත්වමින් මගීන් නංවා ගන්නා දුර ගමන් සේවා පෞද්ගලික බස් රථ නීතියේ රැහැනට හසු කර ගැනීමේ විශේෂ මෙහෙයුමක් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය විසින් ආරම්භ කර තිබේ.
නුවර සහ ගාලු මාර්ගවල සිදු කළ මෙම වැටලීමේදී ධාවන කොන්දේසි උල්ලංඝනය කළ බස් රථ 27 ක මාර්ග බලපත්ර භාරයට ගෙන ඇති බව එම අධිකාරියේ සභාපති විශ්රාමික කොමදෝරු ගාමිණී ජාසිංහ මහතා පවසයි. දුර ගමන් සේවා බස් රථ බස්නාහිර පළාතට ඇතුළු වීමෙන් පසු කෙටි ගමන් සේවා නැවතුම්පළවලින් මගීන් නංවා ගැනීම හේතුවෙන් මගීන් දැඩි ලෙස අපහසුතාවට පත්වීම සහ ඒ සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිලි රැසක් සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇත. අදාළ බලපත්රවලට එරෙහිව නීතිමය කටයුතු කිරීම සඳහා ඒවා ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත යොමු කිරීමට නියමිතය.














