බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කෙරෙන **බස්නාහිර පළාත් පාසල් ක්‍රීඩා උළෙල** සැප්තැම්බර් 07, 08, 09 සහ 10 යන දිනවලදී හෝමාගම, දියගම පිහිටි මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට නියමිතය.
අවුරුදු 20න් පහළ, 18න් පහළ, 16න් පහළ, 14න් පහළ සහ 12න් පහළ යන වයස් සීමාවන් යටතේ බාලක හා බාලිකා ජවන හා පිටිය මලල ක්‍රීඩා තරග ඉසව් මෙහිදී පැවැත්වේ. කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කයන්හි අධ්‍යාපන කලාප 11ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5,000කට ආසන්න පිරිසක් මීට සහභාගී වීමට නියමිතය. ඉදිරියේදී පැවැත්වෙන 40 වැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල සඳහා බස්නාහිර පළාත නියෝජනය කරමින් සහභාගී වන සුදුස්සන් තෝරා ගැනීමද මෙවර තරගාවලිය පදනම් කරගනිමින් සිදුකෙරේ. බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්යක්ෂ එම්. අයි. ඩී. ඩී. සී. ඉද්දමල්ගොඩ, අතිරේක අධ්‍යාපන අධ්යක්ෂ උපාලි අමරතුංග සහ නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ (ක්‍රීඩා සහ ශාරීරික අධ්‍යාපන) කුසලානි වික්‍රමරත්න යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් විසින් මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කර ඇත.














