කැනඩාවේ දෙවන විශාලතම ගුවන් සේවය වන ‘වෙස්ට්ජෙට්’ (WestJet) හි ගුවන් සේවිකාවන් සහ ගුවන් සේවකයන් (කැබින් කාර්ය මණ්ඩලය) ඉරිදා දින වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති අතර, මේ හේතුවෙන් කාර්යබහුල ගිම්හාන සංචාරක සමයේ ගුවන් ගමන් බිම වැටී තිබේ.
එම ගුවන් සේවයේ සේවකයන් 4,400ක් නියෝජනය කරන කැනේඩියානු මහජන සේවක සංගමය (CUPE) මෙම වර්ජනය දියත් කර ඇත්තේ ගුවන් ගමන් ක්‍රියාත්මක වන කාලයට පමණක් වැටුප් ගෙවන ක්‍රමවේදය වෙනස් කර, සේවකයන් සේවයට වාර්තා කරන මොහොතේ සිට සේවයෙන් ඉවත් වන තුරු සම්පූර්ණ කාලයටම වැටුප් ලබා දෙන ලෙස ඉල්ලමිනි. සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් ගුවන් ගමන් 309ක් අවලංගු කිරීමට ගුවන් සේවය පියවර ගෙන ඇති අතර, මගීන්ට මුදල් ආපසු ගෙවීම් හෝ වෙනත් විකල්ප පහසුකම් සපයන බව පවසා ඇත.














