27 April 2024
#දේශීය

පළාත් පාලන මැතිවරණය ගැන නීතිපතිගේ මතය මොකද්ද? පැෆ්රල් අසයි

මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගියදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපතිවරයා සිය මතය ප්‍රකාශ කර ඇත්නම් එහි පිටපතක් ලබාදෙන මෙන් පැෆ්රල් සංවිධානය ඉල්ලා සිටි.

එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ 2023 මාර්තු මස 19 වන දිනට ප්‍රථම මැතිවරණ කොමිෂන් සභාව විසින් පැවැත්විය යුතු පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ මතය විමසීම අවශ්‍ය කරුණක් නොවන බවයි.

නමුත් එසේ තිබියදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇති නීතිමය බාධා පිළිබඳව ඔබ කොමිෂන් සභාව නීතිපතිවරයාගේ මතය විමසා ඇති අතර ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා සිය මතය ප්‍රකාශ කර ඇත්නම් එහි පිටපතක් තම සංවිධානයටද ලබා දෙන මෙන් පැෆ්රල් සංවිධාන ඉල්ලා සිටි.

 

පැෆ්රල් සංවිධාන විසින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත යොමු කල ලිපිය පහත පරිදි වේ.

 

නීතීඥ නිමල් පුංචිහේවා මහතා,
සභාපති,
මැතිවරණ කොමිෂන් සභාව,
සරණ මාවත,
රාජගිරිය.

2022-11-30

පළාත් පාලන මැතිවරණය පිළිබඳව නීතිපතිවරයාගේ මතය විමසීම

2023 මාර්තු මස 19 වන දිනට ප්‍රථම මැතිවරණ කොමිෂන් සභාව විසින් පැවැත්විය යුතු පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇති නීතිමය බාධා පිළිබඳව ඔබ කොමිෂන් සභාව නීතිපතිවරයාගේ මතය විමසූ බව ඔබතුමන් සමග පැවැති සාකච්ඡාවේදී හා මාධ්‍ය හරහා දැනගන්නට ලැබුණි.

එසේ නීතිපතිවරයාගේ මතය විමසීම අවශ්‍ය කරුණක් නොවන බව පැෆ්රල් සංවිධානයේ මතය වුවද ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයා සිය මතය ප්‍රකාශ කර ඇත්නම් එහි පිටපතක් අප වෙත ලබාදෙන ලෙස කාරුණිකව ඉල්ලමි.

මෙම කරුණ ශ්‍රී ලංකාවේ මිලියන 16 ක ප්‍රජාවගේ ඡන්ද අයිතිය සම්බන්ධ කරුණක් වන බැවින් සහ මැතිවරණ කොමිෂන් සභාව ජනතාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීමට කටයුතු කරන ප්‍රධාන ආයතනය ලෙස අපගේ ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාරයක් ලබාදෙනු ඇතැයි දැඩිසේ විශ්වාස කරමු.

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ

පිටපත් –
සමන් ශ්‍රී රත්නායක මහතා, කොමසාරිස් ජනරාල්, මැතිවරණ කොමිෂන් සභාව.
උනන්දුවක් දක්වන සෙසු පාර්ශව.

Leave a comment

Your email address will not be published. Required fields are marked *