එක්සත් ජනපදයේ ප්‍රධාන අධිකරණ සංඝනායක සහ මේරිලන්ඩ් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වොෂිංටන්හි ධවල මන්දිරය (White House) වෙත වැඩම කළහ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ ආරාධනයකට අනුව සිදු වූ මෙම ඓතිහාසික වැඩම කිරීමේ අරමුණ වූයේ ලෝකය පුරා, විශේෂයෙන්ම මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම්කාරී වාතාවරණය සමනය වී සාමය උදාවීම සඳහා ආශීර්වාද කිරීමයි.
මෙම විශේෂ ආගමික වැඩසටහන ජනාධිපති ට්‍රම්ප් මහතාගේ අධ්‍යාත්මික උපදේශිකාවක් (Pastor) ලෙස කටයුතු කරන පෝලා (Paula White) මහත්මිය විසින් සංවිධානය කර තිබුණි. ඒ සඳහා ථෙරවාද, මහායාන සහ වජ්‍රායන යන නිකාය තුනම නියෝජනය කරමින් භික්ෂූන් වහන්සේලා සහභාගී වූහ. මෙහිදී අදහස් දැක්වූ කටුගස්තොට උපරතන නායක හිමියන් සඳහන් කළේ, ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේ නමකට ඇමෙරිකානු ජනාධිපතිවරයාගෙන් ලැබුණු මෙම ආරාධනය සමස්ත ශ්‍රී ලංකාවටම සහ බුදුදහමට ලැබුණු ගෞරවයක් බවයි.
මෑතකදී ඇමෙරිකාව පුරා සැතපුම් 2,300ක් පුරා පැවැති ‘සාම පා ගමන’ (Walk for Peace) මගින් ඇති වූ ආධ්‍යාත්මික පිබිදීම ද මෙම අවස්ථාවට පසුබිම් වී තිබේ. ධවල මන්දිරය තුළ පිරිත් සජ්ඣායනා පවත්වා ජනාධිපතිවරයාට සහ ඇමෙරිකානු ජනතාවට ආශීර්වාද සිදු කළ අතර, ඇමෙරිකානු පරිපාලනය ශ්‍රී ලංකාව සහ බුදුදහම කෙරෙහි දක්වන විශ්වසනීයත්වය මෙමගින් මනාව තහවුරු වන බව ද උන්වහන්සේ අවධාරණය කළහ.














