කලාකරුවන්ගේ පූර්ව අනුමැතියකින් තොරව ඔවුන්ගේ ජනප්‍රිය ගීත සමාජ මාධ්‍ය වීඩියෝ සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් ධවල මන්දිරය (White House) වෙත නිරන්තරයෙන් චෝදනා එල්ල වන අතර, මෙවර ට්‍රම්ප් පරිපාලනය විසින් අතිශය ජනප්‍රිය ගායිකාවක වන අරියානා ග්‍රාන්ඩේගේ (Ariana Grande) ගීතයක් එලෙස අවභාවිත කර තිබේ.
ඇමරිකානු සංක්‍රමණ සහ රේගු බලාත්මක කිරීමේ අංශය (ICE) විසින් සිදු කරන ලද අත්අඩංගුවට ගැනීම් ඇතුළත් කරමින් 2026 ජූනි 9 වැනිදා ධවල මන්දිරය විසින් ටික්ටොක් (TikTok) වෙත වීඩියෝවක් එක්කර තිබුණි. ඒ සඳහා පසුබිම් සංගීතය ලෙස යොදාගෙන තිබුණේ අරියානා ග්‍රාන්ඩේගේ අලුත්ම ඇල්බමයට අයත් “bye” නමැති ජනප්‍රිය ගීතයයි. එම වීඩියෝවේ සටහන ලෙස ඔවුන් දක්වා තිබුණේ, “Bye-bye
ජනාධිපති ට්‍රම්ප් ඉතිහාසයේ වඩාත්ම සුරක්ෂිත දේශ සීමාව නිර්මාණය කර තිබෙනවා” යනුවෙනි.
මේ වන විට සිය ‘Eternal Sunshine’ ප්‍රසංග චාරිකාවෙහි නිරත වෙමින් සිටින අරියානා ග්‍රාන්ඩේ, මෙම ටික්ටොක් වීඩියෝවේ කමෙන්ට් තීරුව ඔස්සේ ධවල මන්දිරයට සෘජුවම ප්‍රහාරයක් එල්ල කර ඇත. එහිදී ඇය සඳහන් කර ඇත්තේ, “කරුණාකර මෙම ම්ලේච්ඡ, අමානුෂික සහ දරුණු විකාර සහගත ක්‍රියාවන් වෙනුවෙන් කිසිසේත්ම මගේ සංගීතය පාවිච්චි කරන්න එපා” යනුවෙනි.
ඇයගේ මෙම ප්‍රකාශය අන්තර්ජාලය තුළ දැඩි අවධානයට ලක්වූ අතර, පසුව ධවල මන්දිර සමාජ මාධ්‍ය කණ්ඩායම විසින් එම කමෙන්ටුව සඟවා (Hide) විනාශ කිරීමට කටයුතු කර තිබුණි. කෙසේ වෙතත්, අරියානා ග්‍රාන්ඩේ සිය විරෝධතාවය සමාජ මාධ්‍ය හරහා තවදුරටත් ප්‍රදර්ශනය කිරීම සඳහා එම කමෙන්ටුවේ ස්ක්‍රීන්ෂොට්ස් (Screenshots) කිහිපයක් සිය ගිණුම්වල බෙදා ගැනීමට පියවර ගත්තාය.
පසුව මෙම සිදුවීමට ප්‍රතිචාර දක්වමින් අරියානාගේ තාක්ෂණික කණ්ඩායම විසින් ටික්ටොක් ආයතනය හරහා අදාළ වීඩියෝවෙන් ඇයගේ ගීතය ඉවත් කිරීමට කටයුතු කර තිබේ. ඒ අනුව ට්‍රම්ප් පරිපාලනයේ සංක්‍රමණික ප්‍රතිපත්තිය ප්‍රවර්ධනය කරන එම ටික්ටොක් වීඩියෝව දැනට පද්ධතිය තුළ පවතින නමුත්, එහි කිසිදු හඬක් (Sound) නොමැති බව වාර්තා වේ.















