වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති නවතම නිවේදනයකට අනුව, මෙම වසරේ සිරිපාද අවාරයේ වන්දනාවේ යෙදෙන බැතිමතුන් සඳහා විශේෂ මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබේ.
ඒ අනුව, අවාරයේ සිරිපා වන්දනාවේ යෙදීමට අවසර ලබා දී ඇත්තේ නල්ලතන්නිය – හැටන් මාර්ගයෙන් සහ රත්නපුර – ශ්‍රී පලාබද්දල මාර්ගයෙන් පමණි.
මෙම නව දැනුම් දීම අනුව, කුරුවිට – එරත්න මාර්ගය, දෙහෙනකන්ද – මුක්කුවත්ත මාර්ගය, දැරනියගල – උඩමාලිබොඩ මාර්ගය සහ මරේවත්ත – සඳගලතැන්න මාර්ගය යන මාර්ග ඔස්සේ අවාරයේ සිරිපාදේ ගමන් කිරීම සපුරා තහනම් කර ඇත.
සිරිපා වන්දනාවේ නිරත වන බැතිමතුන්ගේ ආරක්ෂාව සහ වනාන්තර සංරක්ෂණය කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම නිසා අවාරයේ සිරිපා ගමනක් සැලසුම් කරන සියලු දෙනා මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.
















