වනජීවී සහ සත්වෝද්‍යාන පශු වෛද්‍යවරුන් විසින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන්, හදිසි අවස්ථාවලදී වන සතුන්ට ප්‍රතිකාර කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අනුයුක්ත පශු වෛද්‍ය නිලධාරීන්ගේ සහාය ලබා ගැනීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
අමතර සේවා කාල දීමනාවක් සහ අවදානම් දීමනාවක් ලබා දීම මෙන්ම නිවාඩු හා සති අන්ත දිනවල රාජකාරී කිරීමේ ක්‍රමවේදය විධිමත් කිරීම ඇතුළු මූලික ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වනජීවී හා සත්වෝද්‍යාන පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පසුගිය ජුනි 01 වැනිදා සිට මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරන ලදී. ඒ අනුව, මාස දෙකහමාරකට අධික කාලයක් පුරා මෙම වෛද්‍යවරු අදාළ ක්‍රියාමාර්ගයේ නිරත වී සිටිති.
මෙතරම් කාලයක් ගතවී ඇතත් බලධාරීන් මෙතෙක් සිය ගැටලුවලට නිසි විසඳුම් ලබා දීමට අපොහොසත් වී ඇති බව වනජීවී හා සත්වෝද්‍යාන පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර මහතා පෙන්වා දෙයි. එබැවින්, සිය සාධාරණ ඉල්ලීම් සඳහා නිශ්චිත විසඳුමක් ලැබෙන තෙක් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩවම ඉදිරියට ගෙන යන බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටී.














