අනුරාධපුර, තන්තිරිමලේ පහළ මල්වතු ඔය ආශ්රිතව පිහිටි විල්පත්තුව ජාතික වනෝද්යාන පිවිසුම් මාර්ගය නිසි අධ්යයනයකින් පසුව කඩිනමින් සංචාරකයින් සඳහා විවෘත කිරීමට තීරණය කර තිබේ. පරිසර නියෝජ්ය අමාත්ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්රධානත්වයෙන් වන්කාලෙයි රැම්සා තොරතුරු මධ්යස්ථානයේදී පැවැති විශේෂ ප්රගති සමාලෝචන සාකච්ඡාවකදී මෙම තීරණයට එළඹ ඇති අතර, දිගුකාලීනව පවතින ප්රාදේශීය සංචාරක සංවර්ධන අවශ්යතාවයන් සපිරීම උදෙසා ගන්නා ලද මෙම පියවර කලාපීය වශයෙන් විශාල උනන්දුවක් නිර්මාණය කිරීමට සමත්ව ඇත.
මෙම සාකච්ඡාවේදී මන්නාරම – මොල්ලිකුලම හරහා ද විල්පත්තු පිවිසුම විවෘත කර දේශීය හා විදේශීය සංචාරකයන්ට පහසුකම් සලසන ලෙස ප්රදේශයේ දේශපාලන අධිකාරිය හා රාජ්ය නිලධාරීන් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර, ඊට අමතරව මන්නාරම සිලාවතුර ආශ්රිත කොරල්පර කලාපය සංරක්ෂිත ප්රදේශයක් ලෙස ප්රකාශයට පත් කිරීමට ද යෝජනා වී තිබේ. සංචාරක ආකර්ෂණය ඉහළ නැංවීම සහ ප්රජා ඉල්ලුම සැලකිල්ලට ගනිමින්, සාගර පරිසර පද්ධතියට හානියක් නොවන පරිදි පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයක් ප්රවර්ධනය කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කර ඇත.
ස්වාභාවික සම්පත් ආරක්ෂා කරගනිමින් සංචාරක කර්මාන්තය පුළුල් කිරීම ජාතික ආර්ථිකයේ ඉදිරි පැවැත්මට මෙන්ම ප්රදේශවාසීන්ගේ ජීවනෝපාය මාර්ග ශක්තිමත් කිරීමට ද සෘජුවම බලපාන බැවින්, අදාළ යෝජනා වෙනුවෙන් විධිමත් හා කඩිනම් වැඩපිළිවෙළක් සම්පාදනය කිරීමට බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. මෙකී පියවරයන් සාර්ථකව ක්රියාත්මක වීම ඔස්සේ උතුරු සහ උතුරු මැද පළාත්වල සංචාරක ක්ෂේත්රයේ නව පිබිදීමක් ඇති වනු ඇති අතර, ජෛව විවිධත්වය සුරකිමින් තිරසාර සංවර්ධනයක් කරා ගමන් කිරීමට ආයතනික මට්ටමින් පුළුල් මඟපෑදීමක් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















