හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මිය අද (25) එකම වේලාවකදී මෙරට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ දෙකක පෙනී සිටීමේ සුවිශේෂී සිදුවීමක් වාර්තා විය.
රණවිරු උපහාර උළෙලක පෙරහුරු කටයුතුවලට බාධා පැමිණවීම සහ පොලිස් රාජකාරිවලට බාධා වන අයුරින් නීතිවිරෝධී ජන රාශියක් ගොඩනැඟූ බවට චෝදනා ලැබූ හිටපු අමාත්‍යවරයා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා හමුවට ඉදිරිපත් කෙරිණි. එහිදී ඔහු රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇපකරුවන් දෙදෙනෙකු මත මුදා හැරීමට නියෝග කෙරුණු අතර, නඩුව නැවත අගෝස්තු 25 වැනිදා කැඳවීමට නියමිතය.
ව්‍යාජ උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කරමින් අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා ඇති නඩුව සඳහා ශෂී වීරවංශ මහත්මිය අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටියාය. මෙම නඩුවේ සාක්ෂි විභාගය ලබන ජූලි මස 24 වැනිදා සිදු කිරීමට නියම කර ඇත.
















