අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75කට අධික වත්කම් අයථා ලෙස අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 22 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (03) දින නියම කර තිබේ.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය ලබා දී ඇති අතර, නඩුවේ සාක්ෂි විභාගය සඳහා අංක 21, 22, 25 සහ 38 වන පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට සහ සියලුම සාක්ෂිකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කරන ලෙසද නියෝග කර ඇත. 2010 සිට 2014 දක්වා කාලය තුළ නීත්‍යානුකූල ආදායම අභිබවා වත්කම් අත්පත් කර ගැනීම හරහා අල්ලස් පනත යටතේ වරදක් සිදු කර ඇති බවට චෝදනා කරමින් ඉකුත් යහපාලන රජය සමයේ අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා තිබේ.














