ක්‍රිකට් ක්‍රීඩාවේ “බයිබලය” ලෙස සැලකෙන, 1864 වසරේ සිට ප්‍රකාශයට පත් කෙරෙන එක්සත් රාජධානියේ විස්ඩන් (Wisden Cricketers’ Almanack) සඟරාව, ලෝක ක්‍රිකට් පරිපාලනයට ඉන්දියානු දේශපාලනය මැදිහත් වීම දැඩි ලෙස විවේචනය කර තිබේ. එහි 163 වන සංස්කරණය මඟින් වර්තමාන තත්ත්වය “ඔර්වේලියානු” හෙවත් අධිකාරීවාදී පාලනයක් සහිත තත්ත්වයක් ලෙස හඳුන්වා දී ඇත. විස්ඩන් සංස්කාරක ලෝරන්ස් බූත් පෙන්වා දෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ජේ ෂා සහ ප්‍රධාන විධායක සංජෝග් ගුප්තා යන දෙදෙනාම ඉන්දියානුවන් වීම හරහා ක්‍රීඩාව තුළ අහිතකර දේශපාලනික බලපෑමක් ඇති වී ඇති බවයි. විශේෂයෙන්ම ජේ ෂා යනු ඉන්දියාවේ ප්‍රබල දේශපාලනඥයෙකු වන අමිත් ෂාගේ පුත්‍රයා වීම මෙහිදී විශේෂයෙන් අවධාරණය කර තිබේ.
විස්ඩන් වාර්තාවට අනුව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) මේ වන විට ඉන්දියාවේ පාලක BJP පක්ෂයේ ක්‍රීඩා අංශයක් ලෙස ක්‍රියා කරන බවට චෝදනා කෙරේ. 2025 ආසියානු කුසලාන තරඟාවලිය ඉන්දියාව සහ පාකිස්ථානය අතර පැවති යුධමය වාතාවරණයක් මධ්‍යයේ පැවැත්වීම සහ ඉන්දීය නායක සූර්යකුමාර් යාදව් සිය ජයග්‍රහණය හමුදාවට කැප කිරීම ක්‍රීඩාව දේශපාලන අරමුණු සඳහා යොදා ගැනීමක් ලෙස හඳුන්වා දී ඇත. එසේම ඉන්දියාව සෙසු රටවලට වඩා විශේෂ බව හැඟවීමට උත්සාහ කිරීමේ ‘ඉන්දීය ව්‍යතිරේකවාදය’ (Indian Exceptionalism) හේතුවෙන් බංග්ලාදේශය වැනි රටවලට T20 ලෝක කුසලානයට සහභාගී වීමට පවා නොහැකි වූ බව බූත් පෙන්වා දෙයි.
බංග්ලාදේශ වේග පන්දු යවන ක්‍රීඩක මුස්තාෆිසුර් රහ්මාන්ගේ IPL ගිවිසුම අහෝසි වීම සහ එහි ප්‍රතිඵලයක් ලෙස බංග්ලාදේශ රජය සිය කණ්ඩායමට ඉන්දියාවට යාමට අවසර නොදීම වැනි සිදුවීම් හරහා ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ මූලික පදනම මේ වන විට දේශපාලනයෙන් වස වී ඇති බව විස්ඩන් අවධාරණය කරයි. ඉන්දියාවේ මෙම අසීමිත බලය පාලනය කිරීමට ක්‍රීඩා පරිපාලනය තුළ ප්‍රබල හඬක් නැගිය යුතු බවත්, එසේ නොමැති වුවහොත් ක්‍රීඩාවේ සැබෑ වටිනාකම විනාශ වී යනු ඇති බවත් විස්ඩන් පුවත්පත සිය වාර්තාව මඟින් අනතුරු අඟවයි.














