මහ බැංකු බැඳුම්කර වංචාව සහ රජයේ බදු පැහැර හැරීම් හරහා මෙරට දැඩි ආන්දෝලනයකට ලක්වූ ‘ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම’ (W.M. Mendis & Co.) සහ ‘පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස්’ (Perpetual Capital Holdings) ආයතනවලට අයත් චංචල දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණීමට වැලිසර දිසා අධිකරණය නියෝග කර තිබේ.
රුපියල් මිලියන 402කට අධික ණය මුදලක් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී. සමාගම විසින් ගොනු කරන ලද නඩුවකට අදාළව මෙම පියවර ගෙන ඇති අතර, අදාළ වෙන්දේසිය 2026 සැප්තැම්බර් 29 වන දින පෙරවරු 11.00 ට වැලිසර පිහිටි මෙන්ඩිස් සමාගම් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය. මෙහිදී කාර්යාලීය උපකරණ, වායු සමීකරණ යන්ත්‍ර සහ පරිගණක ඇතුළු තහනම් කරන ලද චංචල දේපළ අයිතම 41ක් අලෙවි කිරීමට නියමිත අතර, ගැනුම්කරුවන් වෙන්දේසිය අවසන් වූ වහාම සම්පූර්ණ මුදල මුදලින්ම ගෙවිය යුතු වේ.















