එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය විසින් ඉදිරියේදී ඇති විය හැකි ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් පිළිබඳව අනාවැකි පළ කර තිබේ. එල්නිනෝ යනු මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගරයේ මුහුදු මතුපිට උෂ්ණත්වය වරින්වර ඉහළ යාමේ ස්වභාවික සංසිද්ධියක් වන අතර, එය සාමාන්‍යයෙන් මාස 9ත් 12ත් අතර කාලයක් පවතියි. මෙම එල්නිනෝ තත්ත්වය දශකයකට පසු ඇති වන ප්‍රබලම තත්ත්වය වනු ඇති බවට පුරෝකථනය කර ඇත.
සාගර ජලය උණුසුම් වීම එල්නිනෝ තත්ත්වයේ වර්ධනයට හේතු වී ඇති අතර, ඒ හේතුවෙන් ජූනි සිට අගෝස්තු දක්වා කාලය තුළ ලෝකයේ බොහෝ ප්‍රදේශවල සාමාන්‍ය අගයට වඩා වැඩි උෂ්ණත්වයක් පවතිනු ඇත. මෙම තත්ත්වය නොවැම්බර් මාසය දක්වා පැවතීමට ඉඩ ඇති බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය සඳහන් කරයි. දකුණු අමෙරිකාව, එක්සත් ජනපදය, අප්‍රිකාවේ සමහර ප්‍රදේශ සහ මධ්‍යම ආසියාවට වැඩි වර්ෂාපතනයක් ලැබෙන අතරතුර, ඕස්ට්‍රේලියාව, මධ්‍යම ඇමරිකාව, ඉන්දුනීසියාව සහ දකුණු ආසියාවේ සමහර ප්‍රදේශවලට නියඟයක් ඇති විය හැකියි. මධ්‍යම සහ නැගෙනහිර පැසිෆික් සාගරයේ සුළි කුණාටු නිර්මාණය වීමට ද මෙම තත්ත්වය හේතු වේ. අප්‍රේල් අග සිට මැයි මැද භාගය දක්වා සමක පැසිෆික් කලාපයේ මුහුදු මතුපිට උෂ්ණත්වය වේගයෙන් ඉහළ ගොස් ඇති අතර, නිවර්තන පැසිෆික් කලාපය පුරා සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 6කට වඩා වැඩි උෂ්ණත්වයක් සහිත අසාමාන්‍ය ලෙස උණුසුම් සාගර උප-මතුපිට තත්ත්වයන් නිරීක්ෂණය වී ඇත. 2026 වසරේ දෙවන භාගයේදී ආසියාව පුරා ඇති වන උණුසුම් හා වියලි කාලගුණය හේතුවෙන් බෝග සහ ආහාර සැපයුම්වලට දැඩි හානි සිදුවිය හැකි බවට අනතුරු අඟවා තිබේ. කෙසේ වෙතත්, සමහර දේශගුණික ආකෘති මඟින් ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් පෙන්නුම් නොකරන බැවින්, එහි ප්‍රබලතාවය පිළිබඳව දැනට නිශ්චිතවම පැවසිය නොහැක. දේශගුණික විපර්යාස හේතුවෙන් එල්නිනෝ රටාවල වාර ගණන හෝ තීව්‍රතාවය ඉහළ යන බවට නිශ්චිත සාක්ෂි නොමැති වුවද, අධික තාප තරංග සහ අධික වර්ෂාපතනය වැනි බලපෑම් දරුණු කිරීමට එයට හැකියාව ඇත.
















