බීජිං නුවරදී ආරම්භ වූ දින පහකින් යුත් ලෝක මනුෂ්‍ය ස්වරූපී රොබෝ තරගාවලිය (World Humanoid Robot Games) මගින් රොබෝ තාක්ෂණයේ සුවිශේෂී සංධිස්ථාන සනිටුහන් කර තිබේ. චීන රජයේ මාධ්‍ය මගින් දැඩි ප්‍රචාරණයක් ලබා දී ඇති මෙම තරගාවලිය, මිනිසුන්ගේ ක්‍රීඩා ආකෘති මත පදනම් වූ ඉසව් සහ කර්මාන්තශාලා, ආපනශාලා, කාර්යාල මෙන්ම හදිසි අවස්ථා වැනි සැබෑ පරිසරයන් අනුකරණය කරමින් රොබෝවරුන් පරීක්ෂාවට ලක් කරන අවස්ථා ඇතුළත් කරමින් ඉසව් 51 කින් සමන්විත වේ. හුවාවේ (Huawei) ආයතනය ඇතුළු තාක්ෂණික හවුල්කරුවන්ගේ දායකත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලියේ ඉසව් වලින් 40 කට අධික ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීයව (fully autonomously) ක්‍රියාත්මක කිරීමට රොබෝවරුන්ට සිදුවී ඇත.
මෙම තරගාවලියේදී රොබෝවරුන් විසින් මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ විස්මිත දස්කම් දක්වා ඇති අතර, මීටර් 100 ධාවන ඉසව්වේදී රොබෝවරුන් දෙදෙනෙකු උසේන් බෝල්ට්ගේ තත්පර 9.58 ක ලෝක වාර්තාව අභිබවා යාමට සමත් වීම කැපී පෙනුණි. මෙය 2025 වසරේදී ජයග්‍රාහී රොබෝවාට ගතවූ තත්පර 20 කට වැඩි කාලය හා සසඳන විට දැවැන්ත දියුණුවකි. කෙසේ වෙතත්, වේගයෙන් ධාවනය වූ රොබෝවරුන්ට නියමිත වේලාවට තිරිංග යෙදීමේ ගැටලු නිසා අවසන් රේඛාවෙන් පසු අටවන ලද ඝන මෙට්ට මත ගැටීම සිදුවිය. මීට අමතරව, තවත් රොබෝවක් මීටර් 400 ධාවන තරගය තත්පර 39.7 කින් අවසන් කළ අතර, එය වේඩ් වෑන් නීකර්ක්ගේ ලෝක වාර්තාව වන තත්පර 43.03 ට වඩා වේගවත්ය.
මලල ක්‍රීඩා වලට අමතරව, බර ඉසිලීම, කඹ ඇදීම මෙන්ම තායි චී (Tai Chi) සහ පිච්-පොට් (pitch-pot) වැනි සාම්ප්‍රදායික චීන ක්‍රීඩා අංගයන්ද මෙයට ඇතුළත් කර තිබේ. කෙසේ වෙතත්, අධික වේගය සහ තී්‍රවතාව හේතුවෙන් සමහර රොබෝවරුන් අධික උණුසුම වැනි තාක්ෂණික ගැටලුවලට මුහුණ දී ඇති අතර, මීටර් 100 මූලික වටයෙන් පසු ගිනිගත් රොබෝවක් නිවා දැමීමටද කාර්ය මණ්ඩලයට සිදුවිය. මෙම තරගාවලිය හරහා රොබෝවරුන්ගේ බැටරි කළමනාකරණය සහ තාපය විසුුවා හැරීමේ හැකියාව මෙන්ම, ඉදිරියේදී කර්මාන්තශාලා සහ ගබඩා මෙහෙයුම්වලදී මිනිසුන් මෙන් නිරවද්‍යව කේබල් සම්බන්ධ කිරීම වැනි සියුම් වැඩ කටයුතු සිදුකිරීමේ ඔවුන්ගේ සැබෑ හැකියාව පරීක්ෂාවට ලක් කෙරේ.














