පුවත්පත් කාර්යාලයක් ඉදිරිපිටදීම අමානුෂික ලෙස ඝාතනය වූ සත්‍යයේ අභියෝගාත්මක ගමන් සගයකු අනුස්මරණය කරමින් 1993 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය මැයි 03 වන දා ලෝක මාධ්‍ය නිදහස් දිනය ලෙස ප්‍රකාශයට පත් කළේ මාධ්‍යවේදියාගේ ආරක්ෂාව පිළිබඳ බරපතල අනතුරු ඇඟවීමක් කරමිනි. “සාමය පිරුණු අනාගතයක් උදෙසා” යන තේමාව යටතේ මෙවර සැමරෙන මෙම දිනය මගින් ගෝලීය අභියෝග හමුවේ සත්‍යය ගවේෂණය කරමින් සාමය සහ සහජීවනය ගොඩ නැගීම සඳහා ජනමාධ්‍ය සතු වගකීම දැඩිව අවධාරණය කරයි. මේ සියලු අභියෝග මධ්‍යයේ සත්‍යය රැකගැනීම යනු සත්‍යයෙන්, සාධාරණයෙන් හා නිදහසෙන් පිරුණු ලෝකයක් ගොඩනැගීමට ඇති ඇති එකම මාවතයි.
ලෝක ජනමාධ්‍ය නිදහස් දර්ශකයේ රටවල් 180ක් අතර ප්‍රථම ස්ථානය 2022 වසරේදී නොර්වේ රාජ්‍යය හිමිකරගත්තද, ශ්‍රී ලංකාව මේ සම්බන්ධයෙන් අත්කරගෙන ඇති කැපී පෙනෙන වර්ධනය රටට යහපත් බලාපොරොත්තුවක් එක්කරයි. 2024 වසරේදී එම දර්ශකයේ 150 වැනි ස්ථානයේ පසු වූ ශ්‍රී ලංකාව, 2025 වසරේදී 139 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇති අතර, එය සැබවින්ම සුබදායි තත්ත්වයකි. කෙසේ වෙතත්, ඇෆ්ගනිස්ථානය 175 වැනි ස්ථානයේත් පාකිස්තානය 155 වැනි ස්ථානයේත් පසු වෙමින් කලාපීය වශයෙන් මාධ්‍ය නිදහස පිළිබඳ බරපතල ගැටලු තවමත් පවතින බව පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාව පසුගිය වසරට සාපේක්ෂව කැපී පෙනෙන වර්ධනයක් අත්කරගෙන ඇති බැවින්, මෙම ජයග්‍රහණය හුදෙක් සංඛ්‍යාලේඛනයක් නොවී, රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට ඉවහල් විය යුතු වේ. ජනමාධ්‍ය නිදහස යනු සත්‍යය කියන්න ඇති අයිතිය වන අතර, එය රැකගන්නා සමාජයක් පමණක් සත්‍යයෙන්, සාධාරණයෙන් හා නිදහසෙන් පිරුණු ලෝකයක් ගොඩනගාගත හැකි බැවින්, අප සැම එකාවන්ව මෙම නිදහස සුරැකීමට කැපවිය යුතුය. එමගින්, යුක්තිගරුක හා නිදහස් රටක් අනාගත පරපුරට දායාද කළ හැකිය.














