ජීවිතයේ සැඳෑ සමය විවේකීව ගත කරනවා වෙනුවට, ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර වෙසෙන චාල්ස් ස්මිත් මහතා ලොව වයස්ගතම ‘පළමු වරට සීයා කෙනෙකු වූ පුද්ගලයා’ ලෙස ගිනස් ලෝක වාර්තා පොතට එක්වෙමින් නව ජීවයක අසිරිය සමරමින් සිටියි.
2025 වසරේ අගෝස්තු 29 වැනිදා චාල්ස්ගේ පුත් ඈෂ්ලි සහ ලේලි හැනාට දාව ඉස්ලා දැරිය උපත ලබන විට චාල්ස්ගේ වයස අවුරුදු 91යි දින 209ක් ලෙස සටහන් විය. වයස අවුරුදු 55දී පියෙකු වීමේ වාසනාව ලද චාල්ස්ට, තම පරම්පරාවේ මීළඟ පුරුක දැකගැනීමට තවත් දශක තුනකට වැඩි කාලයක් බලා සිටීමට සිදුවීම විශේෂත්වයකි.
තම මිනිබිරිය තමාට ‘පොපී’ (Poppy) කියා අමතනවාට ප්‍රිය කරන චාල්ස්, ඇය දුටු මුල් මොහොතේ පටන් අපමණ සෙනෙහසකින් යුතුව ඇයව රැකබලා ගන්නා බව පවුලේ උදවිය පවසති. මෙම ගිනස් වාර්තාව සඳහා ඔහුගේ පුතු සහ ලේලිය ඔහුට රහසින් අයදුම් කර තිබූ අතර, පසුව සහතිකය පෙන්වා ඔහුව පුදුමයට පත් කර ඇත
හිටපු මෝටර් රථ ධාවන තරග ප්‍රවර්ධකයෙකු වන චාල්ස්, 91 හැවිරිදි වියේ පසුවුවද තවමත් තනිවම බෝට්ටු පදින, කඳවුරු බැඳීමේ රථයකින් ඕස්ට්‍රේලියාව පුරා සංචාරය කරන අතිශය ක්‍රියාශීලී පුද්ගලයෙකි.
පිරිමි පාර්ශ්වයෙන් මෙවැනි වාර්තාවක් ගොඩනැගීම අතිශය දුර්ලභ සිදුවීමක් වන අතර, චාල්ස් පවසන්නේ ලෝක වාර්තාවලට වඩා තමාට තම පවුලේ බැඳීම සහ මිනිබිරියගේ ආදරය වටිනා බවයි.













