චීනයේ ප්‍රමුඛ පෙළේ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන එක්ස්පෙන්ග් (XPENG) ආයතනය 2027 වසරේදී පියාඹන මෝටර් රථ සහ මානවරූපී රොබෝ යන්ත්‍ර මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කරයි. තාක්ෂණික ලෝකයේ නව පෙරළියක් සනිටුහන් කරමින් මෙම පියාඹන මෝටර් රථ සඳහා මේ වන විටත් ඇනවුම් 7,000කට අධික සංඛ්‍යාවක් ලැබී තිබීම විශේෂත්වයකි. මෙම ව්‍යාපෘතිය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සඳහා චීනයේ සිවිල් ගුවන් සේවා බලධාරීන්ගෙන් අවශ්‍ය නිල අවසරය ලබා ගැනීමේ කටයුතු ද මේ වන විට සිදුවෙමින් පවතී.
ගුවන් ගමන් ක්ෂේත්‍රයේ සිදුවන මෙම වෙනසට අමතරව, ස්වයංක්‍රීයව ධාවනය වන ‘රොබෝටැක්සි’ (Robotaxi) සේවාව දියත් කිරීමට ද එක්ස්පෙන්ග් සමාගම පියවර ගනිමින් සිටී. ඒ අනුව ඉදිරි මාස 12ත් 18ත් අතර කාලය තුළ රොබෝටැක්සි රථ දහස් ගණනින් නිෂ්පාදනය කර පරීක්ෂණ මට්ටමින් වෙළඳපොළට මුදා හැරීමට ඔවුන් අපේක්ෂා කරයි. මෝටර් රථ තාක්ෂණය සහ කෘතිම බුද්ධිය ඒකාබද්ධ කරමින් සිදු කෙරෙන මෙම වැඩපිළිවෙළ අනාගත ගමනාගමන පද්ධතිය සම්පූර්ණයෙන්ම වෙනස් මාවතකට යොමු කරනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මෙම ව්‍යාපෘතිය සාර්ථක වුවහොත් 2027 වසර වන විට නාගරික ගමනාගමන තදබදයට විසඳුමක් ලෙස ගුවනින් ගමන් කරන පෞද්ගලික මෝටර් රථ සංකල්පය යථාර්ථයක් වනු ඇත. ලෝකයේ ප්‍රධාන පෙළේ මෝටර් රථ නිෂ්පාදකයින් අතර පවතින තරඟය හමුවේ, චීනය මෙම ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින බව මෙම නවතම සැලසුම් හරහා තහවුරු වේ.













