ඓතිහාසික යාපහුව රාජධානියේ අභිමානවත් ප්‍රෞඪත්වය සහ දන්ත ධාතූන් වහන්සේ උදෙසා කෙරෙන ශ්‍රී දළදා පූජෝපහාර පෙරහර, වසර 7කට පසුව අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. 2018 වසරෙන් පසුව තාවකාලිකව නතර වී තිබූ මෙම පෙරහර මංගල්‍යය නැවත ආරම්භ කිරීම පිළිබඳව නිල වශයෙන් දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් යාපහුව රාජමහා විහාරස්ථානයේදී පවත්වා ඇත.
13 වැනි සියවසේ පළමවන බුවනෙකබාහු රාජ්‍ය සමයේ යාපහුව රාජධානිය තුළ උත්තම දළදා වහන්සේ වඩා හිඳුවා රාජකීය පූජෝපහාර පැවැත්වූ බව ඉතිහාසයේ සඳහන් වේ. එකල ආරම්භ වූ මෙම පෙරහර රාජධානියේ බිඳවැටීමත් සමඟ නතර වී තිබුණ ද, පසුකාලීන නායක හිමිවරුන්ගේ අප්‍රතිහත ධෛර්යය නිසා අඛණ්ඩව පවත්වාගෙන එන ලදී. කෙසේ වෙතත්, පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය සහ විහාරාධිපති හිමිගේ අපවත් වීම ඇතුළු හේතු නිසා 2018 වසරෙන් පසු පෙරහර පැවැත්වීමට නොහැකි විය.
පසුගිය 21 වැනි දින යෙදුණු සුබ මොහොතින් යාපහුව රාජමහා විහාරාධිපති නුගලියද්දේ සමිතානන්ද හිමි, යාපහුව බස්නායක නිලමේ කසුන් ලක්ෂිත මාපා, මධ්‍යම සංස්කෘතික අරමුදලේ වයඹ ව්‍යාපෘති කළමනාකරු සජිත් නුවන් වනසිංහ ඇතුළු දායක සභාව විසින් ශ්‍රී දළදා පෙරහරේ කප් සිටුවීමේ මංගල්‍යය සිදු කරන ලදී. හෙට (28) පස්වරුවේ පිරිත් සජ්ඣායනා සහ පසුදින දානමය පුණ්‍යකර්ම පැවැත්වෙන අතර, අනිද්දා (29) රාත්‍රී 7.00ට සුබ මොහොතින් අලි ඇතුන් පිරිවරා ගත් ප්‍රධාන ශ්‍රී දළදා පූජෝපහාර පෙරහර අති උත්කර්ෂවත් ලෙස වීථි සංචාරය කිරීමට නියමිතය.
මෙම පෙරහර නැරඹීමට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට අවශ්‍ය සනීපාරක්ෂක පහසුකම්, නවාතැන් සහ ආරක්ෂක වැඩපිළිවෙළ සකස් කිරීමට මහව පොලීසිය, ප්‍රාදේශීය සභාව සහ ප්‍රාදේශීය හෝටල් හිමියන් එක්ව කටයුතු කර ඇති බව කෘෂිබර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය. ජනාධිපති අරමුදල, ලොතරැයි මණ්ඩලය, වයඹ පළාත් සභාව ඇතුළු ආයතනවල මෙන්ම ප්‍රදේශවාසීන්ගේ දායකත්වයෙන් මෙම සංස්කෘතික මංගල්‍යය සංවිධානය කර ඇත.
















