යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා වී මෝල් හිමියන්ට ලබාදෙන ණය මුදල් දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා මෙම සතිය ඇතුළත නිකුත් කරන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසයි.
මෝල් හිමියන්ට යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 250 ක උපරිමයකට යටත්ව කිසිදු පොලියක් අය නොකර මෙම ණය මුදල් ලබාදෙන බව ඒ මහතා සඳහන් කළේය. රජය මේ වන විට වී මෙට්‍රික් ටොන් 45,000 කට අධික ප්‍රමාණයක් මිලදී ගෙන ඇත. ගොවි ජනතාවට සහන සලසමින් සහ යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අතිරේකව රුපියල් කෝටි 750 ක (මිලියන 7500) පරිපූරක ඇස්තමේන්තුවකට පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී අනුමැතිය හිමි විය.














