ශ්‍රී ලංකාවේ ව්‍යවසාය සංවර්ධනය වෙනුවෙන් වසර 60කට අධික ඉතිහාසයක් ඇති කාර්මික සංවර්ධන මණ්ඩලයේ (IDB) නව සභාපතිවරයා ලෙස යසස් හේවගේ මහතා ඊයේ (01) සිය ධුරයේ වැඩ භාර ගත්තේය. කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත (SME) සංවර්ධනය සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන මෙම ආයතනයට, බැංකු හා මූල්‍ය, ව්‍යාපාරික උපාය මාර්ග, අලෙවිකරණ සහ ව්‍යවසායකත්ව සංවර්ධන ක්ෂේත්‍රයන්හි දශක දෙකක අත්දැකීම් සහිත වෘත්තිකයෙකු මෙලෙස පත්වීම විශේෂත්වයකි.
මෙම පත්වීමට පෙර ඔහු කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස සේවය කර ඇති අතර, SME Nexus ජාතික SME උපායමාර්ගික රාමුව සංවර්ධනය කිරීමේ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත. තවද, ව්‍යවසායකත්ව හා කර්මාන්ත පරිවර්තන අධිකාරිය (EITA) පිහිටුවීමේ නායකත්ව කණ්ඩායමේද ඔහු සාමාජිකයෙකි. සිය බැංකු වෘත්තීය ජීවිතය තුළ HSBC සහ NDB Bank යන ආයතනවල SME ව්‍යාපාර සංවර්ධනය සහ උපායමාර්ගික කළමනාකරණ තනතුරු රැසක් ඔහු හොබවා ඇත.
සිය පත්වීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ හේවගේ මහතා සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ කාර්මික පරිවර්තනය අතීත උරුමයන්ට ගෞරව කරමින් අනාගත දැක්මක් මත ගොඩනැගිය යුතු බවයි. තාක්ෂණය, නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය පදනම් කර ගනිමින් ශ්‍රී ලංකාව නව කාර්මික විශිෂ්ටත්වයේ යුගයකට රැගෙන යාම තම පරම්පරාවේ වගකීම බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය. මෙම පත්වීමත් සමඟ කාර්මික සංවර්ධන මණ්ඩලය නවෝත්පාදන ප්‍රවර්ධනය සහ කර්මාන්ත පරිවර්තනය ඉලක්ක කරගත් නව වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
















