ශ්‍රී ලංකාවේ පැරණිතම සහ ප්‍රමුඛතම ව්‍යවසාය සංවර්ධන ආයතනයක් වන කාර්මික සංවර්ධන මණ්ඩලයේ (Industrial Development Board – IDB) නව සභාපතිවරයා ලෙස යසස් හේවගේ මහතා ඊයේ (01) සිය ධුරයේ නිල වශයෙන් වැඩ භාර ගත්තේය. වසර 60කට අධික ප්‍රෞඩ ඉතිහාසයක් ඇති කාර්මික සංවර්ධන මණ්ඩලය, මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත (SME) ක්ෂේත්‍රය නංවාලීම වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කරන රාජ්‍ය ආයතනයකි.
යසස් හේවගේ මහතා බැංකු හා මූල්‍ය, ව්‍යාපාරික උපාය මාර්ග, ව්‍යවසායකත්ව සංවර්ධන සහ ක්‍රීඩා සංචාරක ක්ෂේත්‍රයන්හි දශක දෙකකට ආසන්න කාලයක පුළුල් අත්දැකීම් සහිත වෘත්තිකයෙකි. මීට පෙර ඔහු කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස ද, ජාතික SME උපායමාර්ගික රාමුව (SME Nexus) සංවර්ධනය කිරීමේ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර ඇත. එසේම, යෝජිත ව්‍යවසායකත්ව හා කර්මාන්ත පරිවර්තන අධිකාරිය (EITA) පිහිටුවීම සඳහා සහාය වන ආයතනික පරිවර්තන නායකත්ව කණ්ඩායමේ ද ඔහු සාමාජිකයෙකි.
මීට පෙර HSBC සහ NDB Bank යන මූල්‍ය ආයතනවල ප්‍රමුඛ තනතුරු හොබවා ඇති ඒ මහතා, NDB බැංකුව සංවර්ධන බැංකුවක සිට වාණිජ බැංකුවක් දක්වා පරිවර්තනය වූ අවධියේදී සුවිශේෂී දායකත්වයක් ලබා දුන්නේය. ව්‍යවසායකත්ව සංවර්ධනය සහ විධායක පුහුණුකරණය (Executive Coaching) සම්බන්ධයෙන් ද ඔහු ලංකාව තුළ පුළුල් පිළිගැනීමක් දිනා සිටියි.
සිය පත්වීම පිළිබඳ අදහස් දක්වමින් නව සභාපතිවරයා මෙසේ සඳහන් කළේය:
“ජේතවනාරාමය වැනි ලෝකය මවිත කළ ඉංජිනේරු නිර්මාණ බිහිකළ ජාතියක් ලෙස අප නැවතත් එම නිර්මාණශීලීත්වය සහ නිෂ්පාදන විශිෂ්ටත්වය කරා ගමන් කළ යුතුයි. තාක්ෂණය, නවෝත්පාදනය සහ ව්‍යවසායකත්වය මත පදනම් වූ නව කාර්මික විශිෂ්ටත්වයේ යුගයක් කරා ශ්‍රී ලංකාව රැගෙන යාම අපගේ පරම්පරාවේ වගකීමක්.”
















