යේමනයේ හූති සටන්කාමීන් සහ සෞදි අරාබියට සහාය දක්වන යේමන රජයේ හමුදා අතර ගැටුම් තවදුරටත් උග්‍රවීමත් සමඟ ජනතාව විශාල වශයෙන් ආරක්ෂිත ප්‍රදේශ සොයා පලා යමින් සිටින බව Reuters වාර්තා කරයි.
ඩ්‍රෝන ප්‍රහාරයකින් සිය බිරිඳ මියයාමෙන් පසු මුහම්මද් අයියාෂ් නමැති පුද්ගලයෙකු සිය දරුවන් තිදෙනා සමඟ කිසිදු භාණ්ඩයක් නොමැතිව දකුණු යේමනයේ ඒඩන් නගරයේ අවතැන් වූවන් සඳහා පිහිටුවා ඇති තාවකාලික කඳවුරකට පැමිණ තිබේ.
ඔහු සඳහන් කර ඇත්තේ තමන් සතුව පිටි ඇටයක්වත්, නිදාගැනීමට මෙට්ටයක්වත්, ඇඳුම් පැළඳුම්වත් නොමැති බවයි. ඔහු මීට පෙර ජීවත් වූයේ පුරාණ වරාය නගරයක් වන මෝචා ප්‍රදේශයේය.
Reuters වාර්තා කරන පරිදි, හූති සටන්කාමීන් රතු මුහුදු වෙරළ තීරය ඔස්සේ සිදුකළ වේගවත් මෙහෙයුමකින් සෞදි සහාය ලබන යේමන රජයේ හමුදාවන් පරාජය කරමින් රටේ තවත් ප්‍රදේශයක් සිය පාලනයට ගෙන ඇති අතර, ලෝකයේ වැදගත්ම නාවික ගමන් මාර්ගයක් වන බබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය ආශ්‍රිත බලපෑමද තවදුරටත් ශක්තිමත් කරගෙන ඇති බව සඳහන් වේ.
එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය සඳහන් කර ඇත්තේ යේමනයේ යළිත් උත්සන්න වී ඇති ගැටුම් හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 100,000කට අධික පිරිසක් රට තුළම අවතැන් වී ඇති බවයි.
එමෙන්ම තවත් දහස් ගණනක් මුහුදු මාර්ග ඔස්සේ ජිබුටි වෙත පලාගොස් ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
මෙම තත්ත්වය හේතුවෙන් යේමනය තුළ මානුෂීය අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින අතර, ගැටුම්වලින් පීඩාවට පත්වන ජනතාවට ආරක්ෂාව සහ මූලික අවශ්‍යතා සපයා ගැනීම දැඩි අභියෝගයක් බවට පත්ව තිබේ.














