මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව පවත්වාගෙන යා නොහැකි බවට විත්ති පාර්ශ්වය ඉදිරිපත් කළ මූලික විරෝධතාව කොළඹ මහාධිකරණය විසින් ඊයේ (14) නිෂ්ප්‍රභ කරන ලදී. මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් දන්වා සිටියේ විත්තිකරුට එරෙහිව ඇති කුමන්ත්‍රණය කිරීමේ චෝදනා ඉදිරියට ගෙන යාමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බවයි.
මෙම නඩුවේ දෙවැනි විත්තිකාරිය වූ ඩේසි ෆොරස්ට් මහත්මිය උසාවිය හමුවේ පෙනී සිටීමට තරම් නිරෝගී මානසික මට්ටමක නොසිටින බවට වෛද්‍ය මණ්ඩලයක් තීරණය කිරීමෙන් පසු ඇය නඩුවෙන් මුදාහැරීමට මීට පෙර පියවර ගැනිණි. විත්ති පාර්ශ්වය මෙහිදී තර්ක කළේ කුමන්ත්‍රණ චෝදනාවකදී එක් විත්තිකරුවෙකු මුදාහැර ඇති බැවින්, ඉතිරි විත්තිකරුට එරෙහිව පමණක් එම චෝදනාව පවත්වාගෙන යා නොහැකි බවයි. කෙසේ වෙතත්, නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ ඉන්දීය නඩු පූර්වාදර්ශ සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන සලකා බැලූ විනිසුරුවරයා, ඩේසි ෆොරස්ට් මහත්මිය මුදාහැරීම “නිදොස් කිරීමක්” නොවන බැවින් නඩුව ඉදිරියට ගෙන යා හැකි බව තීන්දු කළේය.
මෙම නඩුව පවරා ඇත්තේ 2012 සහ 2013 වසර කාලසීමාව තුළ රත්මලාන සහ ගල්කිස්ස ප්‍රදේශවලින් රුපියල් මිලියන 73.5කට ආසන්න වටිනාකමකින් යුත් ඉඩම් පහක් මිලදී ගැනීම සම්බන්ධයෙනි. නීති විරෝධී ලෙස උපයාගත් මුදල් බැංකු ගිණුම්වල තැන්පත් කිරීම සහ එම මුදල්වලින් දේපළ මිලදී ගැනීම හරහා මුදල් විශුද්ධිකරණ වරද සිදුකර ඇති බවට පැමිණිල්ල චෝදනා කරයි. අදාළ ඉඩම් සියල්ලේම ගැනුම්කාරිය ලෙස ඩේසි ෆොරස්ට් මහත්මියගේ නම සඳහන් වුවද, එම මුදල් උපයාගත් ආකාරය හෙළි කිරීමට විත්ති පාර්ශ්වය අපොහොසත් වී ඇති බව නීතිපතිවරයා පෙන්වා දෙයි.
නඩුවේ ආරම්භක දේශනය සිදු කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ යෝෂිත රාජපක්ෂ මහතා නාවික හමුදාවේ සේවය කරන සමයේ මාසිකව රුපියල් 73,000ක වැටුපක් ලැබූ බවත්, ඩේසි ෆොරස්ට් මහත්මිය පාසල් නේවාසිකාගාර පාලිකාවක ලෙස රුපියල් 300ක මාසික වේතනයක් ලැබූ අයෙකු බවත්ය. මෙවැනි පසුබිමක මිලියන ගණනක දේපළ මිලදී ගැනීම පිළිබඳව සැකයක් පවතින බව පැමිණිල්ලේ තර්කයයි. හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා ඇතුළු සාක්ෂිකරුවන් 166 දෙනෙකුගේ සාක්ෂි විමසීම ඉදිරි නඩු දිනවලදී සිදු කිරීමට නියමිතය.














