හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති, ෆ්ලීට් අද්මිරාල් වසන්ත කරුණාගොඩ යන මහත්වරුන්ට එරෙහිව අයථා ලෙස මුදල් පරිහරණය කිරීමේ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු ලෙස, 2006 සැප්තැම්බර් 01 සිට 2007 ජූනි 08 දක්වා කාලය තුළ එක්සත් රාජධානියේ බ්‍රිටානියා රාජකීය නාවික විද්‍යාලයේ පැවති තරුණ නාවික නිලධාරීන්ගේ පාඨමාලාවට යෝෂිත රාජපක්ෂ මහතා සහභාගී වීම පහසු කිරීම හරහා රාජ්‍යයට මූල්‍ය පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අද්මිරාල් කරුණාගොඩ මහතාට චෝදනා එල්ල වී ඇති අතර, යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නීතිවිරෝධී ප්‍රතිලාභයක් ලබාගැනීමේ චෝදනා ගොනු කර ඇත. මේ යටතේ දෙදෙනාට එරෙහිව චෝදනා 8ක් ගොනු කර ඇති අතර, අධිකරණය විසින් නුදුරේදීම ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතසි නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ.














