පොළොන්නරුව – මඩකලපුව මාර්ගයේ පුණානි ප්‍රදේශයේදී ඊයේ (01) රාත්‍රියේ සිදුවූ දරුණු රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මඩකලපුව දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක්, ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ටිපර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරේ බලපෑමෙන් ටිපර් රථය ද පෙරළී ගොස් තිබේ.
මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ වාලච්චේන ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු වැලිකන්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. ත්‍රීරෝද රථයේ රියැදුරු, පසුපස අසුනේ ගමන්ගත් කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකු මෙන්ම ටිපර් රථයේ රියැදුරු ද තුවාල ලබා රෝහල්ගත කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















