යුක්රේනයේ රුසියානු පාලනය යටතේ පවතින සපොරොෂියා න්‍යෂ්ටික බලාගාරයේ (Zaporizhzhia Nuclear Power Plant) විදුලි සැපයුම සඳහා භාවිත කෙරෙන ‘ෆෙරොස්ප්ලාව්නායා-1’ (Ferrosplavnaya-1) විදුලි රැහැන් පද්ධතිය යළි අලුත්වැඩියා කර විදුලි සැපයුම යථා තත්ත්වයට පත් කර ඇති බව එහි රුසියානු පාලනාධිකාරිය අද (ජූනි 06) නිවේදනය කළේය.
මෙම අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) මැදිහත්වීමෙන් පසුගිය සිකුරාදා (ජූනි 05) තාවකාලික සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබිණි. බලාගාරයේ පාලනාධිකාරිය තම ටෙලිග්‍රාම් නාලිකාව හරහා වැඩිදුරටත් සඳහන් කරන්නේ, මේ වන විට බලාගාරයේ සියලුම පද්ධති සහ උපකරණ සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බවයි.
කෙසේ වෙතත්, මෙම අලුත්වැඩියා කටයුතු අතරතුර සටන් විරාමය උල්ලංඝනය කරමින් යුක්රේනය විසින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කළ බවට රුසියාවේ රාජ්‍ය න්‍යෂ්ටික බලශක්ති සංස්ථාව වන ‘රොසාටම්’ (Rosatom) චෝදනා කරයි. එම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව ද වාර්තා වේ.
සපොරොෂියා බලාගාරය යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික බලාගාරය වන අතර, එය දැනට විදුලිය උත්පාදනය නොකළද, න්‍යෂ්ටික ඉන්ධන සිසිල්ව තබා ගැනීම සහ ආරක්ෂිත ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීම සඳහා අඛණ්ඩව බාහිර විදුලි සැපයුමක් අත්‍යවශ්‍ය වේ. මෙම සටන් විරාමය පසුගිය වසරේ සිට මෙවැනි අලුත්වැඩියා කටයුතු සඳහා ලබා ගත් හයවන සටන් විරාමය ලෙස සැලකේ.
Kyiv Post
















