27 July 2024
#දේශීය

විමල් , මහින්ද කඳවුරෙන් ඉවත් වෙයි….?

මුළු රටටම ඉල්ලන ගෝඨාභය රාජපක්ෂයන් මහින්ද කඳවුරේ සිටියදී ‘විධායක ජනාධිපති ක‍්‍රමය එපා’ කියන එජාප – ජවිපෙ උගුලේ වැටුණොත් මහින්ද කඳවුරෙන් ඉවත් වීමට තමන් ඇතුළු පිරිස මොහොතක්වත් ප‍්‍රමාද නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ පසුගියදා මොරටුව නගරයේ පැවති ‘රටට මොකද වෙන්නේ ?’ යන තේමාව යටතේ පැවති ජනහමුවක් අමතමින්.

එහිදී වැඩිදුරටත් විමල් වීරවංශ මහතා මෙසේ අදහස් පල කර සිටියේය ” 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් කළේ මහජනයාට ලැබිය යුතුව තිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට තට්ටු කරපු එක. දැන් ආයෙත් ජනතා විමුක්ති පෙරමුණ එනවා 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔසවාගෙන. ‘20’ ඔසවාගෙන ආවාට වැඩක් නැහැ, එ්කාබද්ධ විපක්ෂය තීරණය කරලා ඉවරයි ‘විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ඇතුළු ඔය ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරණ අපි පිළිගන්නේ නැහැ’ කියා. එ් නිසා අද ඔය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ‘සීනි තවරපු’ මේ රාජ්‍යය දුර්වල කරන, අස්ථාවර කරන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ පාර්ලිමේන්තුව තුළ සම්මත කර ගැනීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. නමුත් කවුරුන් හෝ අපේ කඳවුර බිලීබාගෙන 20 සම්මත කර ගැනීමට හදනවා නම් එදාට තමයි අපට මේ දේශපාලන කදවුරට ආයුබෝවන් කීමට සිදුවන්නේ. ඒකට අපි මොහොතක්වත් පසුබට වෙන්නේ නැහැ. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ උගුල මේ අය දැන් කඩිමුඩියේ අටවන්න හදන්නේ ඇයි ? රනිල් වික‍්‍රමසිංහට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තියා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉල්ලන්න ලැබෙයි ද කියන එකත් ‘ෂුවර්’ නැහැ. එ් නිසා තමයි රනිල් ‘විධායක ජනාධිපති ක‍්‍රමය එපා’ කියන්නේ. ‘විධායක ජනාධිපති ක‍්‍රමය එපාෟ’ කියන ජවිපෙ තත්වය බලන්න. 2010 දී සහ 2015 දී වගේ මෙවර ජනාධිපතිවරණයේ දී පොදු අපේක්ෂකයකුට කඩේ යාමට ජවිපෙට බැහැ. එහෙම කඩේ ගිහින් දැන් එයාලා හොඳට නාගෙන තියෙන්නේ. එ් නිසා තනියම ඉල්ලන්න වෙනවා. එතකොට ලැබෙන්නේ ඡන්ද ලක්ෂ දෙක තුනක් පමණයි. එතකොට ‘සයිස් එක’ පෙනෙනවා. එ් නිසා ජවිපෙට අද විධායක ජනාධිපති ක‍්‍රමය ඇනයක්. දැන් රනිල් එක්ක එකතු වෙලා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට දඟලනවා.

නමුත් අපි හැමදාම රට වෙනුවෙන්, කිසිවක් අපේක්ෂා නොකර එ් දුෂ්කර අවස්ථාවන්වලට කර ගැහුවා. පෞද්ගලිකව කිසිවක් නොලැබුණත් අපි කර ගහපු සටන අතරමග දාලා යන්නේ නැහැ. ඉතිහාසය පුරා දාලා ගිහිල්ලත් නැහැ. එළියෙන් ගැහුවත් – ඇතුළෙන් ගැහුවත් – මාධ්‍යයෙන් ගැහුවත් ඒ ගහන ඕන ගැහිල්ලකට මුහුණ දෙන්න බැරිනම් අපි මේ දේශපාලනය කරන්නේ නැහැ. මේ රට යළි හරි මගට ගන්න සටන, මේ පාලනය අවසන් කර ජනතා අභිලාෂයන් ජයග‍්‍රහණය කරන සටන අපි කිසි ලෙසකින්වත් අතහරින්නෙ නැහැ. එ් නිසා ‘සියලූ බොරු වළවල් මගහරිමින් ජයග‍්‍රහණය තෙක් පෙරට යමු’ කියා, රටට ආදරය කරන සියලූ ජනකොටස් වෙතින් ඉල්ලා සිටිනවා.’’ යැයි විමල් විරවංශ මහතා කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *