27 April 2024
#දේශීය

අත්‍යාවශ්‍ය පිළිකා ඖෂධ ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පියවර

පසුගිය දිනවල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාල ප්‍රශ්ණයක් වූ පිළිකා රෝගී ප්‍රතිකාර සේවාවන් සදහා මහරගම අපේක්ෂා රෝහලට අත්‍යාවශ්‍යව තිබූ ඖෂධ 24 ක් මිල දී ගැනීමට මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1000 ක මූල්‍ය ප්‍රතිපාදන ලබාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව පසුගිය 05 වන දින සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය සහ සෞඛ්‍ය ලේකම් පී.එම්.එස් චාල්ස් මහත්මිය මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා සමග පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස මෙම රුපියල් මිලියන 1000 ක මුල්‍ය ප්‍රතිපාදන ලබාගැනීමට හැකි වී තිබේ.

ඒ අනුව මේ සතිය තුල අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග හදිසි මිලදී ගැනීමේ ක්‍රමවේදය උපයෝගී කර ගනිමින් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් මිල දී ගෙන මහරගම අපේක්ෂා රෝහල වෙත ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යාංශය අවධාරණය කරයි. එමෙන්ම මේ වන විට විවිධ ඖෂධ ආනයනය කරන ආයතන ණයවර ලිපි (LC Open කර ඇති) මගින් විවෘත කර ඇති ඖෂධ වර්ග ද ලැබෙමින් පවතින අතර, ඉදිරි මාසය තුල දී අත්‍යාවශ්‍ය ඖෂධ වල හිඟය මගහරවා ගැනීමට හැකිවනු ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.

මේ අතර මෙම ඖෂධ මිල දී ගැනීම් පිළිබදව අනුගමනය කරන ක්‍රමවේදයන් යාවත්කාලීන කළ යුතු බව පවිත්‍රා වන්නිආරච්චි අමාත්‍යවරයා අවධාරණය කරයි.

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *