27 April 2024
#සංවර්ධන

අපි බොරුවට බෙර ගැහුවේ නෑ – අගමැති

වත්මන් ආණ්ඩුව බොරුවට බෙර ගැසුවේ නැති බවත් නිහඩව කටයුතු කළ බවත් ජනතාවට අදාළ ප්‍රතිඵල ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ” ළගම පාසල හොදම පාසල” ව්‍යාපෘතිය යටතේ ව්‍යාපෘති 200 සිසු අයිතියට පැවරීමේ ජාතික උත්සවය පසුගිය (01) වැනිදා කුලියාපිටිය, නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැති අවස්ථාවේදිය.

එහිදී අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ” ලංකා ඉතිහාසයේ පමණක් නොව ලෝක ඉතිහාසය තුලත් පාසල් 200ක ගොඩනැගිලි එකවර විවෘත කිරීමක් සිදුවී නැහැ. එවැනි විප්ලවයක් කළේ අපේ ආණ්ඩුවයි. මෙම වැඩසටහන මින් අවසන් වන්නේ නැහැ. තවත් විශාල වැඩ කොටසක් සිදු කිරීමට තිබෙනවා. අද මෙම විවෘත කිරීමෙන් මට අවශ්‍ය වුනේ ගතවූ කාලය තුල අපි රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදු කළ කාර්යභාර්ය රටට පෙන්වීමටයි. හිස් ගොඩනැගිලි පමණක් අපි ලබා දෙන්නේ නැහැ. ඒවාට අවශ්‍ය උපකරණ ආදියත් ලබා දෙනවා.
සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන, ජංගම විද්‍යාගාර, වැසිකිලි පහසුකම් ආදි සියළු දේ අපි පාසැල් වලට ලබා දුන්නා. අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදු කළේ කුමක්ද යන්න මේවායින් පැහැදිලි වෙනවා. උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා කුලියාපිටියටත් විශ්වවිද්‍යාලයක් ලබා දෙනවා.

අප ඔබේ යහපත වෙනුවෙන් මේ ආකාරයට විශාල ලෙස මුදල් වෙන් කර තිබෙනවා. දැන් රට ඉදිරියට යමින් තිබෙනවා. බියක් සැකක් නොමැතිව ඉදිරි පියවර ගැනීමට අපි දැන් ලෑස්තියි. මේවා වියදම් ලෙස නොව ආයෝජන ලෙසයි අප දකින්නේ.

ශ්‍රී ජයවර්ධනපුරයේ සුහුරු පංති කාමර අපි ආරම්භ කළා. දැන් සුහුරු පන්ති කාමර 200ක් දැන් රට තුල ක්‍රියාත්මක වෙනවා. පාසල් 20කට ටැබ් පරිගණක ලබාදී මූලික අත්හදා බැලීම සිදු කරමින් සිටිනවා. පළමු සුහුරු විද්‍යාලය කුරුණෑගලින් ආරම්භ කලා. තවත් කිහිපයක්ම මහනුවර, කොළඹ, කුරුණෑගල ප්‍රදේශවල ආරම්භ කර තිබෙනවා. විද්‍යා ගුරුවරුන් බඳවා ගැනීම සඳහා විද්‍යා ගුරු පීඨ 02ක් ආරම්භ කරන ලෙස මට උපදෙස් දුන්නා. ගුරුවරුන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය ලබා දීම සඳහා එළඹෙන සතියේ ඇමෙරිකාවෙන් ගුරුවරුන් පැමිණෙනවා.

මෙවැනි විශාල දියුණුවක් අප ඇතිකරමින් සිටිනවා. මෙහි සිටින පිරිසෙන් කී දෙනෙක් මෙම වැඩසටහන පිළිබඳ දැනුම්වත් ද? අප ආණ්ඩුව භාරගත්තේ ආර්ථිකය ස්ථාවර කිරීමටයි. රටේ ජනතාවට අනාගතයක් ඇති කිරීමටයි.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට අපේ ආණ්ඩුවට හැකි වුණා. සංහිදියාව ශක්තිමත් කළා. ණය බර පාලනය කළා. අධ්‍යාපන සෞඛ්‍ය ආදි සියලූ අංශයන් සඳහා අප විශාල මුදලක් ආයෝජනය කර තිබෙනවා. අප මෙම වැඩසටහන ඉදිරියට ගෙන යා යුතුයි. මෙවැනි නව ක්‍රමවේද අපි ආරම්භ කළ යුතුයි.

මේ ආකාරයට සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීමට නොහැකි අය අපිව විවේචනය කරනවා. තම ජීවිත කාලයටම එක් ගොඩනැගිල්ලක් විවෘත කර කතාවක් පවත්වා විරුද්ධ පාක්ෂිකයන්ට බැනීම තමයි ඔවුන් කරන්නේ. අපි සිංහල බෞද්ධකම පවා පාවා දෙනවා. ත්‍රස්තවාදය නැවත ඇතිකරනවා ආදි කතා කියමින් බොරුවට මාධ්‍ය ඉදිරියේදී අපිට බනිනවා. එපමණයි ඔවුන් කරන්නේ.

එම නිසා අද මම මේ ගොඩනැගිලි 200ක් විවෘත කරමින් පිළිතුරු ලබා දුන්නේ ඔවුන්ටයි. අපි මේ රට වෙනුවෙන් කරන්නේ කුමක්දැයි මේ හරහා ඔවුන්ට පිළිතුරක් ලැබෙනවා. මේ වැඩසටහන් වෙනුවෙන් බොහෝ මාධ්‍ය හරහා ප්‍රචාරයක් ලබාදෙයිද. නැහැ. මාධ්‍යයත් සෑම විටම ප්‍රශ්න කරන්නේ අපි කරන්නේ කුමක්ද කියායි. බොහෝ මාධ්‍ය ආයතන අද කුලියාපිටිය මේ විවෘත කිරීම හැර අනෙක් විවෘත කිරීම් ප්‍රචාරය නොකරන බව මා දන්නවා.

විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්න් හොඳ දැනුම ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන් රැසක් රට වෙනුවන් බිහිකිරීමටයි. අපේ ඇමතිතුමා මේ වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කරනවා. එතුමාගේ නිලධාරීන් සහ රාජ්‍ය ඇමතිතුමියත් විශාල ලෙස කැප වී සිටියා. රටේ අධ්‍යාපන අමාත්‍යධූරයක් පළමු වතාවට ද්‍රවිඩ කතාකරන අමාත්‍යවරියකට පැවරූ පළමු අවස්ථාව මෙයයි. එය සංහිදියාවට විශාල රුකුලක් බව අවසාන වශයෙන් පැවසිය යුතු යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, බුද්ධ ශාසන හා වයඹසංවර්ධන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සි අලවතුවල, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉදුනිල්, ප්‍රමුඛ දේශපාලඥයන්, රාජ්‍ය නිලධාරීන් විදුහල්පතිවරු සහ ආචාර්ය මණ්ඩලය යන මහත්ම මහත්මීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *