27 April 2024
#දේශීය

අපි වර්ගවාදය, බෙදුම්වාදය ප්‍රතික්ෂේප කරන දේශපාලන පක්ෂයක් – මන්ත්‍රී රංජිත්

අප පක්ෂය වර්ගවාදයට, බෙදුම්වාදයට සහ ආගම්වාදයට විරුද්ධ බවත් මොනයම් හේතුවක් මත ජාතීන් අතර තිබෙන සුහඳතාවය පළදුවන ආකාරයේ කටයුතුවලට සහයෝගය නොදක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා,“ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මැතිතුමා එක්තරා ප්‍රකාශක් කරලා තිබුණා රට විනාශ කරන කුමන්ත්‍රණකාරි බලවේගවලට එරෙහිව පෙරමුණ ගන්න ඕන,සටන් කරන්න ඕනේ නැහැ. අපිත් එක්ක එකතුවෙන්න කියලා. මට හරි සතුටුයි. අපිත් ඕකමයි කියන්නේ. මේ රාජ්‍ය විනාශ කරන්න, රට විනාශ කරන්න ඉන්න බලවේග පරාජය කරන්න එකතුවෙන්න කියලා. පහුගිය සතියේ පැවති පුවත්පත් සාකච්ඡාවේදී අරගලකරුවන් පිළිබඳව අපේ මතය ප්‍රකාශ කළා. අරගලයට සම්බන්ධ වෙච්ච පිරිස් දැන් කුලප්පුවෙලා. අනුර කුමාර මැතිතුමා එහෙම කුලප්පු වෙන්නේ නැහැ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වර්ගවාදය, බෙදුම්වාදය ප්‍රතික්ෂේප කරන මේ රටේ මහජනතාවගේ සැබැ ඕනෑ එපාකම් හදුනාගත් දේශපාලන පක්ෂයක්. අපි අලුත් විෂයන් ගැන කතා නොකර තියෙන එක හරියට කරමු. අපි මැතිවරණය පවත්වමු. දැන් මේ අක්‍රියව පවතින පළාත් සභාවලට නැවත මොකටද 13 ක්. මේ රටේ හැම පුරවැසියෙකුටම අයිතියක් තිබෙනවා වර්ගවාදය, ජාතිවාදය, ආගම්වාදය, ප්‍රාදේශීයවාදය ප්‍රතික්ෂේප කරන්න. මේ රටේ සාමාන්‍ය මහජනයා හැම වෙලාවකම සිතන්නේ අපි එකම සංස්කෘතික දාමයකින් බැදිච්ච පිරිසක් ලෙසයි. නමුත් මේ පුරවැසි අයිතිය අහෝසිකරලා යම්කිසි කාරණාවක් නිසා මේ 13 ක්‍රියාත්මක කරන්න උත්සහ කරනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 13 වෙනි සංශෝධනය ගේන කොටත් හිටපු පිරිස් හිටියා. ඒ අය දැන් නිශ්ෂබ්දයි. ඒ නිසා මේ ගැළපීම් සහ නොගැළපීම් පිළිබඳව නැවත අපි හිතා බැලිය යුතුයි. අපේ පක්ෂයේ මහා ලේකම්තුමා පක්ෂයේ ස්ථාවරය මේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම පිළිබඳව පැහැදිලි කළා. අපි වර්ගවාදයට, බෙදුම්වාදයට, ආගම්වාදයට විරුද්ධයි කියලා. ඒ නිසා මොනම හේතුවක් නිසා හරි ජාතීන් අතර තිබෙන සුහඳතාවය පළදුවෙනවා නම් අපි එයට විරුද්ධයි. ඒ වගේම අපි මේ කතා කරන සමහර පක්ෂ මේ රටේ පොදු මහජනතාව නියෝජනය කරන්නේ නැහැ. එදා ඉඳලා එකම මතයක ඉදලා වෙනම භාෂාවක්, වෙනම සංස්කෘතියක්, රටෙන් වෙනම කොටසක් වෙනුවෙන් කතා කරපු අය. ඒ අය වෙනස් වෙලා නැහැ. මේ සර්ව පාක්ෂික සාකච්ඡාව වඩාත් ඵලදායි වෙන්නේ මේ සාකච්ඡාවන්ට සහභාගිවෙන පිරිස විවෘත මනසකින් සහභාගි වුණොත් පමණයි. අපි ආණ්ඩුවට කියන්නේ පළාත් සභා අපි බලගන්වමු. පළාත් සභාවලට දැනට තිබෙන බලතල අපි ක්‍රියාත්මක කරමු. කවුරුහරි කෙනෙක් සතුටු කරන්න මේ කුමන්ත්‍රණකාරි බලවේගවලට මේ රට නැවතවාරයක් නතු කරන්න අපි පක්ෂයක් විදිහට සූදානම් නැහැ. අපේ රටේ රාජ්‍ය ව්‍යවසායන් 430 ක් තිබෙනවා. මේ රාජ්‍ය ව්‍යවසායන් ආරම්භ කරලා තිබෙන්නේ විවිධ පරමාර්ථ ඇතිව. සමහර රාජ්‍ය ව්‍යවසායන් ව්‍යාපාර විදිහට පවත්වාගෙන යනවා. තව සමහර රාජ්‍ය ව්‍යවසායන් මහා භාණ්ඩාගාරයේ ලැබෙන පහසුකම් මත ක්‍රියාවට නැගෙනවා. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කියලා කියන්නේ පෞද්ගලිකරණය නොවේ. පෞද්ගලිකරණය මේ සියලු ප්‍රශ්නවලට උත්තරය කියලා අපි පිළිගත යුතු නැහැ. රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කළ හැකි ආකාර බොහෝමයක් තිබෙනවා. අපි කැමති යෝජනා කරන්න එවැනි විසඳුම් කෙරෙහි අපි අවධානය යොමු කරන්න ඕන. ඒ නිසා අපි විශ්වාස කරනවා රජය රාජ්‍ය ප්‍රතිසංස්කරණය පිළිබඳව මීට වඩා පුළුල් සංවාදයක් ඇති කරන්න ඕන. අවසාන ඉලක්කය වෙන්නේ මේ රටේ මහජනතාවට වඩා පහසු ජිවන රටාවක් ඇති කර දෙන එක. ඒක කරන්න පුළුවන් එකම කණ්ඩායම තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. ඒ නිසා තමයි අපි ඕනම මැතිවරණයකට ඕනෑම වෙලාවක සූදානම්. අපි රට පුරාම බල මණ්ඩල රැස්කරනවා. අති විශාල ජනකායක් සහභාගි වෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ කාරණාවලදි තමන් දරණ මතය නිවැරදිව මහජනතාවට සන්නිවේදනය කරන්න හැම වෙලාවකම ඇප කැපවී සිටිනවා.”යැයි මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *