බෙලරුස් සමූහාණ්ඩුවේ නිල සංචාරයක් ආරම්භ කරමින් අමාත්‍ය විජිත හේරත් මහතා අද (13) මින්ස්ක් නුවර පිහිටි විජයග්‍රාහී චතුරස්‍රයේ (Victory Square) පැවැති උත්කර්ෂවත් උත්සවයකට සහභාගී විය. එහිදී දෙවන ලෝක යුද්ධයෙන් මියගිය විරුවන් අනුස්මරණය කරමින් පුෂ්පෝපහාර දැක්වූ අමාත්‍යවරයා, මෙවැනි අවස්ථාවකට සහභාගී වීමට ලැබීම තමන්ට මහත් ගෞරවයක් බව ප්‍රකාශ කර සිටියේය.
බෙලරුස් ජනතාවගේ කැපකිරීම සහ නොසැලෙන ධෛර්යය ඇගයීමට ලක් කළ මෙම උත්සවය, සාමය, ස්වෛරීභාවය සහ දෙරට අතර පවතින මිත්‍රත්වය වෙනුවෙන් වන පොදු ගෞරවය පිළිබිඹු කරන්නක් විය. 1954 වසරේදී ඉදිකරන ලද විජයග්‍රාහී චතුරස්‍රයේ පිහිටි මෙම ස්මාරකය, බෙලරුස් රාජ්‍යයේ ජාතික අනුස්මරණ සංකේත අතර වැදගත්ම ස්මාරකයක් ලෙස සලකනු ලබයි.












