පවතින අයහපත් කාලගුණය හමුවේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පවුල් 1,091කට අයත් පුද්ගලයින් 3,951ක් පීඩාවට පත්ව ඇති බවත්, පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව එක් අයෙකු අතුරුදන් වී ඇති බවත් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය පවසයි. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (04) පැවති මාධ්‍ය හමුවකදී ඇය මේ බව සඳහන් කළ අතර, මේ වන විට දිස්ත්‍රික්කයේ කාලගුණ තත්ත්වය තරමක් පහව ගොස් ඇති බවද ඇය කියා සිටියාය.දිස්ත්‍රික්කයේ පවතින ආපදා තත්ත්වය හේතුවෙන් අවතැන් කඳවුරු 20ක පවුල් 523කට අයත් පුද්ගලයින් 2,195 දෙනෙකු සහ ඥාති නිවාසවල සාමාජිකයන් 224 දෙනෙකු රඳවා සිටින බව දිස්ත්‍රික් ලේකම්වරිය ප්‍රකාශ කළාය. මීට අමතරව මෙම ආපදාවලින් නිවාස 2ක් පූර්ණ වශයෙන් සහ අර්ධ වශයෙන් නිවාස 90ක් හානි වී ඇති අතර, නිවාසවලට කාන්දු වූ ජලය බැසගිය පසු අදාළ පිරිස් යළි ඔවුන්ගේ නිවාස වෙතම යොමු කිරීමට පියවර ගන්නා බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.














