ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ දැඩි ආගමන විගමන මර්දන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ, එරට ආගමන හා විගමන බලාත්මක කිරීමේ නියෝජිතායතනයේ (ICE) වැඩබලන ප්‍රධානී ටොඩ් ලියොන්ස් (Todd Lyons) එළඹෙන මැයි 31 වැනිදා සිය ධුරයෙන් ඉවත් වන බව ඇමෙරිකානු රජය ඊයේ (16) නිවේදනය කළේය. ඔහු රජයේ සේවයෙන් ඉවත් වී පෞද්ගලික අංශයට එක්වීමට සැලසුම් කර ඇති බව ස්වදේශ ආරක්ෂක ලේකම් මාක්වේන් මුලින් ප්‍රකාශ කර තිබේ.
ටොඩ් ලියොන්ස්ගේ නායකත්වය යටතේ සිදු වූ ආගමන විගමන මර්දන ක්‍රියාදාමයන් මානව හිමිකම් සංවිධානවල දැඩි දෝෂදර්ශනයට ලක් වූ අතර, පසුගිය ජනවාරි මාසයේදී මිනසෝටාහිදී ICE නිලධාරීන් අතින් අහිංසක ඇමෙරිකානු පුරවැසියන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය වීම රට පුරා දැඩි විරෝධතාවලට හේතු විය. එමෙන්ම, මෑතකදී මිනසෝටාහි අධිවේගී මාර්ගයකදී පුද්ගලයන්ට ගිනි අවි පෙන්වා තර්ජනය කළ බවට ICE නිලධාරියෙකුට එරෙහිව එල්ල වී ඇති චෝදනා ද මෙම ඉල්ලා අස්වීම පසුබිමේ පවතී. කෙසේ වෙතත්, ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ දේශීය ආරක්ෂාව තහවුරු කිරීමට සහ නීතිවිරෝධී සංක්‍රමණයන් පාලනය කිරීමට මෙම මර්දනකාරී පියවර අත්‍යවශ්‍ය බවයි. ටොඩ් ලියොන්ස් 2025 වසරේ සිට මෙම වැඩබලන ප්‍රධානී ධුරය හෙබවූ අතර ඔහු දිගු කාලයක් එම ආයතනයේ විවිධ ඉහළ තනතුරු දරා ඇති නිලධාරියෙකි.














