චීනයේ තියැන්ගොන්ග් (Tiangong) අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින ෂෙන්ෂෝ-21 (Shenzhou-21) මෙහෙයුමට අයත් අභ්‍යවකාශගාමීන් තිදෙනාගේ රැඳී සිටීමේ කාලය තවත් මාසයකින් දීර්ඝ කිරීමට චීන මිනිස් අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය තීරණය කළ බව එරට රාජ්‍ය රූපවාහිනිය අද (17) වාර්තා කළේය. දීර්ඝකාලීනව අභ්‍යවකාශයේ රැඳී සිටීමේ තාක්ෂණයන් තවදුරටත් පරීක්ෂා කිරීම මෙම පියවරේ අරමුණයි.
පසුගිය 2025 ඔක්තෝබර් 31 වැනිදා අභ්‍යවකාශගත වූ සාං හොංෂාං (Zhang Hongzhang), චීනයේ ලාබාලතම අභ්‍යවකාශගාමියා වන වු ෆෙයි (Wu Fei) සහ අණදෙන නිලධාරී සාං ලූ (Zhang Lu) යන අභ්‍යවකාශගාමීන් මේ වන විට මාස පහකට අධික කාලයක් කක්ෂගතව පසුවේ. ඔවුන් අප්‍රේල් මාසයේදී යළි පෘථිවියට පැමිණීමට නියමිතව තිබුණද, මෙම නව තීරණයත් සමඟ ඔවුන් තවත් මාසයක් අභ්‍යවකාශයේ ගත කරමින් විද්‍යාත්මක පරීක්ෂණ සහ තාක්ෂණික නඩත්තු කටයුතුවල නිරත වනු ඇත. ඔවුන් මේ වන විට අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රොබෝ හස්තය භාවිත කරමින් අභ්‍යවකාශ සුන්බුන්වලින් ආරක්ෂා වීමේ උපාංග සවි කිරීම ඇතුළු වැදගත් කාර්යයන් රැසක් සාර්ථකව නිම කර ඇති අතර, ඔවුන් ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ද වාර්තා වේ.














