27 April 2024
#සංවර්ධන

ඇමැති අර්ජුන මහ රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළට කඩා පනී…

කොළඹ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ගුවන් මගීන්ට ලබා දෙන සේවාව ගැන තමන්ට කිසිසේත්ම සෑහීමකට පත් විය නොහැකි බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් තම අමාත්‍යාංශය යටතේ පවතින සීමාසහිත ගුවන්තොටුපොළ හා ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගම විසින් ඉදිරියේදී ගුවන් තොටුපොළ පරිශ්‍රයේ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ ව්‍යාපෘති රැසක් දියත් කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අවධාරණය කරයි. ඒ, ඔහු ඊයේ මධ්‍ය රාත්‍රියේ (28) කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රයට හදිසි නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කර සිටියේය “අමාත්‍යවරයා ලෙස විතරක් නෙමෙයි සාමාන්‍ය ගුවන් මගියකු ලෙසටත් මම මේ ප්‍රශ්නය බොහෝ කාලයක සිට හඳුනාගෙන තිබෙනවා. ඒ නිසාම විෂය භාර අමාත්‍යවරයා ලෙස මේ ප්‍රශ්නවලට ස්ථීර සාර්ථක විසදුම් ලබා දීමට මම අපේක්ෂා කරනවා. දැනටමත් අපි ගුවන් තොටුපොළ පරිශ්‍රය නවීකරණය කිරීමටත් පහසුකම් වැඩි කිරීමටත් කටයුතු කරමින් සිටිනවා. අපේ අරමුණ වන්නේ ගුවන් මගියාට සතුටින් මේ රටින් පිටව යාමටත් සතුටින් මෙරටට පැමිණිමටත් අවශ්‍ය පරිසරය සැකසීමයි. එතැනදී අපේ ආයතනවලට වගේම ගුවන් සමාගම්වටලත් වැඩි වගකීමක් පැවරෙනවා. අද සමහර ගුවන් සමාගම්වල මානව සම්පත්වල විශාල අඩුවක් නිරීක්ෂණය කරන්න පුළුවන් වුණා. සමහර කවුන්ටර වහලා. මගීන්ට මඟ පෙන්වන්න ඔවුන්ගේ නියෝජිතයින් නැහැ. මගීන් අතරමං වෙලා එහේ මෙහේ යනවා. ගුවන් සමාගම් වුණාම මුදල් උපයන එක පමණක් නෙමෙයි මගීන් ගැනත් සිතන්න ඕන. ඉතිං මේ ප්‍රශ්නය ඉදිරියේදී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමඟ සාකච්ඡා කරලා විසදුමක් ලබා ගැනීමට මාත් වජිර අබේවර්ධන ඇමැතිතුමාත් අපේක්ෂා කරනවා…”යිද අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *