ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවන ලද නාවික අවහිරය බිඳ හරිමින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට උත්සාහ කළ චීනයට අයත් ‘Rich Starry’ නෞකාව, එම උත්සාහය අසාර්ථක වීමෙන් පසු යළිත් හෝමුස් සමුද්‍ර සන්ධිය දෙසට හැරී ඇති බව වාර්තා වේ. ලන්ඩන් වේලාවෙන් පස්වරු 1:00 ට පමණ මෙම නෞකාව සිය ගමන් මග වෙනස් කර ඇති බව නාවික දත්ත පෙන්වා දෙයි. ඉරානයට පනවා ඇති බලශක්ති සම්බාධක මඟහැරීමට සහාය වීම හේතුවෙන් 2023 වසරේදී ඇමෙරිකාව විසින් මෙම නෞකාව අසාදු ලේඛනයට ඇතුළත් කර තිබුණි.
මෙම නෞකාව මුලින් සමුද්‍ර සන්ධිය තරණය කරන බව පෙනෙන්නට තිබූ අවස්ථාවේදී ඉරානය ඒ පිළිබඳව ඇමෙරිකාවට උපහාසාත්මක ප්‍රතිචාරයක් ද දක්වා තිබුණි. කෙසේ වෙතත්, ඇමෙරිකානු මධ්‍යම විධානය (CENTCOM) ප්‍රකාශ කර ඇත්තේ සඳුදා පෙරවරු 10:00 ට නාවික අවහිරය ක්‍රියාත්මක වූ දා සිට මේ දක්වා කිසිදු නෞකාවකට එය බිඳගෙන යාමට ඉඩ ලබාදී නොමැති බවයි. හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා දැනට ගමන් කර ඇති අනෙකුත් නෞකා ඉරාන වරායන් ඉලක්ක කරගත් ඒවා නොවන බැවින් එම නෞකාවලට මෙම අවහිරය බලපා නොමැති බව ද නාවික වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.














