හංගේරියානු අග්‍රාමාත්‍ය වික්ටර් ඕර්බන් පසුගියදා පැවති මැතිවරණයෙන් අති දැවැන්ත පරාජයකට මුහුණ දුන්නද, ඔහු වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල නිරත වීමට ගත් තීරණය නිවැරදි බව අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් පවසයි. මැතිවරණයට දින පහකට පෙර හංගේරියාවේ සංචාරය කරමින් ඕර්බන් හට සහය පළ කළ වෑන්ස්, ඔහු යුරෝපා සංගමයේ නිලධාරිවාදයට එරෙහිව නැගී සිටි විශිෂ්ඨ නායකයෙකු බව ෆොක්ස් නිවුස් පුවත් සේවය සමඟ අදහස් දක්වමින් සඳහන් කළේය. ඕර්බන්ගේ පරාජය පිළිබඳව තමා කණගාටු වන නමුත්, හංගේරියාවේ බලයට පත්වූ නව රජය සමඟ ද ඉතා සමීපව කටයුතු කිරීමට අමෙරිකාව සූදානම් බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
මෙම මැතිවරණයේදී ඕර්බන් පරදා අතිවිශිෂ්ඨ ජයක් ලැබූ ‘තිසා’ (Tisza) පක්ෂයේ නායක පීටර් මැග්යාර්, ජේ.ඩී. වෑන්ස්ගේ මෙම මැදිහත් වීම විවේචනය කරමින් කියා සිටියේ කිසිදු විදේශීය රටකට හංගේරියානු මැතිවරණවලට ඇඟිලි ගැසීමට අයිතියක් නොමැති බවයි. කෙසේ වෙතත්, අමෙරිකාව තවදුරටත් සිය වැදගත් නේටෝ (NATO) හවුල්කරුවෙකු ලෙස සලකන බව පවසන මැග්යාර්, නව අග්‍රාමාත්‍යවරයා ලෙස මැයි 5 වනදාට පෙර දිවුරුම් දීමට අපේක්ෂාවෙන් පසුවේ. එතෙක් වික්ටර් ඕර්බන් භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරනු ඇති අතර, නව පාර්ලිමේන්තුව කැඳවීම පිළිබඳව සාකච්ඡා කිරීමට පක්ෂ නායකයින්ට හංගේරියානු ජනාධිපතිවරයාගෙන් ඇරයුම් ලැබී තිබේ.














