27 April 2024
#දේශීය #පුවත්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට ජනපතිගෙන් විද්වත් කමිටුවක්

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු නිසි ලෙස අධ්‍යයනය කර, පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම ගැටලුවලට ලබාදිය හැකි විසඳුම් පිළිබඳ සොයා බලා වාර්තා කිරීමට විද්වත් කමිටුවක් පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නියුතු කර්මාන්තකරුවන් සමඟ ඊයේ (13) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

මුදල් අමාත්‍යාංශයේ, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම්වරුන් ඇතුළත්වන පරිදි ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් සමන්විතව මෙම විද්වත් කමිටුව පත් කිරීමට පියවර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු අවසන් වීමත් සමඟ ලබන වසර වන විට සියලු ක්ෂේත්‍රවල කර්මාන්තකරුවන් ධෛර්යමත් වන අන්දමේ සහන ලැබෙනු ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ මහා පරිමාණ, සුළු හා මධ්‍යම පරිමාණ කොන්ත්‍රාත්කරුවන් සහ ක්ෂේත්‍රයේ නියුතු පාර්ශ්ව මුහුණ දී ඇති ගැටලු පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර අතරමග නැවතුණු ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම, ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම, ඉදිකිරීම් සේවා ප්‍රවර්ධනය කිරීම, විකල්ප අරමුදල් සම්පාදනය සහ කොන්ත්‍රාත් උපදේශන ගැටළු පිළිබඳව ද පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු මෙන්ම අදාළ ආයතන ප්‍රධානීහු ද, ඉදිකිරීම් ක්ෂේත්‍රය නියෝජනය කරමින් නියෝජිතයින් රැසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *